අතුරුදහන් වීම්: ජාත්‍යන්තර කොමිසමක් ඉල්ලා උද්ඝෝෂණයක්

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ කොමිසමක් අවශ්‍ය බව අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් පිරිසක් පවසති.

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම වර්ජනය කළ ඉහත කී ඥාතීන් පිරිස කොමිසම රැස් වූ කුච්චවැලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලෙන මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසම සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ගත කර ඇති කාලය සහ මෙතෙක් සටහන් කරන ගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව දෙස බලන විට තම දුක් ගැනවිල්ලට ශ්‍රී ලංකා රජයෙන් විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස නොකරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

යුද්ධය පැවති වකවානුව තුළ උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශවල පුද්ගලයන් දහඅට දහසක් පමණ අතුරුදහන් වී ඇති බව පවසන විරෝධතාකරුවන් කියා සිටියේ වසර දෙකක් පුරා සාක්ෂි සටහන් කර ගෙන ඇත්තේ ඉන් දෙදහසකගේ පමණක් බවයි.

‘හැමදාම මේ වගේ පරීක්ෂණ තියලා මුකුත් වෙලා නැහැ. ඒ හින්දා අපි මේකට එක්සත් ජාතීන්ගේ කොමිසමක් ඉල්ලා සිටිනවා’ විරෝධතාකරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ සුජිත සිවනායගම් පියතුමා පැවසූහ.

මේ අතර ඉහත කී විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස ප්‍රකාශ කළේ අනවබෝධයෙන් කටයුතු කරන පිරිසක් විරෝධතාවයක යෙදී සිටියත් සැබෑ අවශ්‍යතාවයන් ඇති පුද්ගලයන් පැමිණ සෙනසුරාදා සහ අද ඉරිදා සාක්ෂි ලබා දුන් බවයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා පැමිණිලි පන්සීය හැටක් ලැබී ඇති බවත් තවදුරටත් පැමිණිලි භාර ගැනීම සඳහා සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ කොමිසම ත්‍රිකුණාමලයේදී රැස්වීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

අතුරුදහන් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සංවිධාන සහ පුද්ගලයන් කැඳවා ඉදිරියේදී සාක්ෂි ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇති බවත් ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් සඳහන් කළේය.

චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර