ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපතිවරණය: මාධ්‍යවේදීන් ආචාර ධර්ම 'කඩ කරලා'

පසුගිය ජනපතිවරණය සමයේ සිය වෘත්තීය ආචාර ධර්ම සුරැකීමට රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන් උත්සුක නොවූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

එබැවින් ආචාර ධර්ම පිළිපදිමින් සිය වෘත්තියේ නිරතවීම පිණිස ලාංකීය මාධ්‍යවේදීන්ට පුහුණුව ලබාදෙමින් ඔවුන්ට ලැබෙන අවස්ථා පුළුල් කරන ලෙස එම ආයතනය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ මහජන සේවා ජනමාධ්‍ය ඇතිකිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ස්වාධීන විකාශන සේවා අධිකාරියක් පිහිටුවන මෙන්ද එම ආයතනය ලාංකීය බලධාරීන්ට යෝජනා කරයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය එම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ පසුගිය ජනපතිවරණය සමයේ රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පිළිබඳව පර්යේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින්.

මැතිවරණ කොමසාරිස්

ජනපතිවරණය සමයේ සියලු රාජ්‍ය මාධ්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි 'අතිවිශාල අනුග්‍රහයක් සහ අසාධාරණ පක්ෂපාතීත්වයක්' පෙන්නුම් කළ බව සිය පර්යේෂණයෙන් හෙළි වූ බවයි, පර්යේෂණය මෙහෙය වූ කණ්ඩායමේ ප්‍රධානී ආනන්ද ජයසේකර බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

Image copyright Ananda Jayasekara
Image caption "රාජ්‍ය මාධ්‍ය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයාට නිග්‍රහ කරන්න සහ ඔහු අපකීර්තියට පත්කරන්න, ඔහුගේ ප්‍රතිරූපය වනසා දමන්න පියවර ගෙන තියෙනවා"

"ඒ වගේම රාජ්‍ය මාධ්‍ය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා යටපත් කරන්න උත්සාහ කළා විතරක් නෙවෙයි ඔහුට නිග්‍රහ කරන්න සහ ඔහු අපකීර්තියට පත්කරන්න, ඔහුගේ ප්‍රතිරූපය වනසා දමන්න පියවර ගෙන තියෙනවා," ඔහු කියා සිටියේය.

එමෙන්ම ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණු විට අනෙක් කිසිම අපේක්ෂකයකුට රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රචාරයක් ලැබී නැති බවත් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පෞද්ගලික ජනමාධ්‍ය අපක්ෂපාතීද?

අපක්ෂපාතී වාර්තාකරණයක යෙදෙන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා දිගින් දිගටම කළ දැනුම්දීම් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් නොසලකා හැරි බවද ආනන්ද ජයසේකර සිහිපත් කළේය.

කෙසේ නමුත් එහිදී සිය ආයතන ප්‍රධානීන්ට පමණක් දොස් පවරා නිදොස් වීමට රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට හැකියාවක් නැති බවයි, ඔහු පවසන්නේ.

"ප්‍රධාන වශයෙන් අමාත්‍යවරයා හෝ ආණ්ඩුවේ ප්‍රධානියා දෙන නියෝගයක් නොපිලිපැද ජනමාධ්‍යයේ වෘත්තීය ආචාර ධර්ම හරි ප්‍රමිතීන් රකින්න ජනමාධ්‍යවේදීන් කටයුතු කරපු බවක් අපිට දකින්න ලැබුනේ නෑ."

මැතිවරණ සමයේ පෞද්ගලික ජනමාධ්‍ය අපක්ෂපාතී වාර්තාකරණයක යෙදුනු බව රාජ්‍ය මාධ්‍ය ආයතනවලට එල්ල වන මේ චෝදනාව මගින් ගම්‍ය නොවන බව පවසන ආනන්ද ජයසේකර, කෙසේ නමුත් සිය පර්යේෂණය යොමු වූයේ රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පමණක් බව වැඩිදුරටත් කියා සිටියේය. (හඬ පටයට සවන් දෙන්න)