ශ්‍රීලනිප නියෝජිතයන්ට වාරණයක්

Image copyright SLFP

සිය අභිමතය පරිදි මාධ්‍යයට අදහස් දැක්වීමෙන් හා කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ මහජන නියෝජිතයන්ට දන්වා තිබේ.

පක්ෂ මහජන නියෝජිතයන් තම පෞද්ගලික මතය මාධ්‍යයට ඉදිරිපත් කිරීම මගින් පක්ෂ ප්‍රතිපත්තිවලට අවැඩදායක තත්වයක් ඇතිවිය හැකි බවින් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා පක්ෂ අනුමැතියකින් තොරව සහභාගී නොවිය යුතු බවත් නිවේදනයෙන් දන්වා තිබේ.

සියලු ප්‍රගතිශීලී බලවේග එකතු කර ගනිමින් සන්ධානයක් වශයෙන් තරග වැද එළඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම පක්ෂයේ අවසාන ඉලක්කය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.