ලයිබීරියාව 'ඉබෝලා' පරාජය කරයි

Image copyright AP

ඉබෝලා රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අන්තිම රෝගියා සමාජයට මුදා හරින ලද බව ලයිබීරියාව නිවේදනය කරයි.

සිය භූමිය ඉබෝලා වසංගතයෙන් තොර රටක් හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබීමේ ක්‍රියාවලියට මුල පුරමින් එම අන්තිම ඉබෝලා රෝගියා රෝහලෙන් පිටත් කර යැවූ බවයි ලයිබීරියානු බලධාරීන් පවසන්නේ.

ඉබෝලා වයිරසය ආසාදිතව,සෞඛ්‍යය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි බියට්‍රීස් යාර්ඩොලෝ(Beatrice Yardolo) නම් එම කාන්තාව එම මධ්‍යස්ථානයෙන් පිට වී යන මොහොතේ බීබීසියට කියා සිටියේ තමා අද මිහිපිට වඩාත් සතුටින් සිටින පුද්ගලයන් අතර එක් තැනැත්තියක වන බවයි.

‘මම අද මිහිපිට ඉන්න වඩාත් සතුටු කාන්තාවක් .මේ අසනීපයට ගොදුරු වෙලා ඉන් මිදී ජීවමානව සමාජයට පැමිණීම ලේසි නැහැ. මම දෙවියන්ට ,වෛද්‍යවරුන්ට ,සෞඛ්‍යය කාර්ය මණ්ඩල වලට පින් දෙනවා. අප්‍රිකානු දෙමව්පියන් හැටියට මට මගේම දරුවන් මුනුබුරු මිනිබිරියන් ඉන්නවා’ ලයිබීරියාවේ ‘මොන්රෝලියා’ අගනුවර චීනය විසින් පවත්වා ගෙන යනු ලබන සෞඛ්‍යය මධ්‍යස්ථානයකින් පිටව යන මොහොතේ ඇය ප්‍රකාශ කළාය.

ලොව ප්‍රීතිමත්ම කාන්තාව

ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ අනුව ‘ඉබෝලා’ රහිත භූමියක් හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබීම සඳහා ලයිබීරියාවට තවත් දවස් 42 ක කාලයක් ඇත.

Image copyright AFP
Image caption ලයිබීරියාවේ අවසන් ඉබෝලා රෝගියා

බීබීසී අප්‍රිකානු අංශයේ ප්‍රධානී රිචර්ඩ් හැමිල්ටන් පවසන්නේ, වෙනත් අප්‍රිකානු රටවල ඉබෝලා වයිරසය බල පැවැත්වෙන තෙක් එම වසංගතයෙන් කලාපයේ රටක් සහමුලින්ම මිදුන බවක් සනිටුහන් කළ නොහැකි බවයි.

‘වෙනත් රටවල් වළට වඩා ලයිබීරියානුවන් ඉබෝලා වසංගතයෙන් මරණයට පත් වුනා. ඒ රට මේ අසනීපයෙන් මිදීම අතින් මෙය ප්‍රධාන සන්ධිස්ථානයක්. ඒත් ඒකෙන් අදහස් වන්නේ නැහැ - තවත් රෝගීන් නැහැ කියල . ලයිබීරියාවට තම භූමිය ඉබෝලාවලින් තොරයි කියන්න තවත් දවස් 42 ක කාලයක් තියෙනවා. එහෙත් ලයිබීරියානු ජනාධිපති ඇලන් ජොන්සන් කිව්ව- අනිකුත් රටවල් වසංගතයෙන් මිදෙන තෙක් කිසිම රටකට ඉබෝලා වලින් නිදහස් කියල කියන්න බැහැයි කියල. ගිනි රටේ රෝගය තියෙනව. සියරා ලියෝනයෙන් අලුත් රෝගීන් වාර්තා වුනා.’ රිචර්ඩ් හැමිල්ටන් පවසයි.

ඉබෝලා වසංගතයට ගොදුරුව හාරදාහක් පමණ ලයිබීරියානු ජාතිකයන් මරණයට පත් වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත.