ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණ බංකොලොත්භාවයක් - යශෝධා

ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණ බංකොලොත්භාවයක් පවතින බව ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම පවසන්නීය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් තමන්ටද නිර්මාණයකට දායකවීම පිණිස වසර පහකට ආසන්න කාලයක් මුළුල්ලේ බලා සිටීමට සිදු වූ බව ඇය කියා සිටියාය.

"ඒ කියන්නේ අද හොඳ තිර රචනයක් දකින්නට ලැබෙන්නේ අතිශය කලාතුරකින්," ප්‍රවීණ නිලි යශෝධා විමලධර්ම සඳහන් කළේ ලන්ඩනයේ බීබීසී මැදිරියේදී සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

වාරණය

"දැන් මම ලන්ඩනයට ඇවිල්ල 'ශේක්ස්පියර් ඉන් ලව්' වේදිකා නිර්මාණය නරඹද්දී හරි සතුටක් වින්දා. නමුත් ඒ වගේම ශිල්පිනියක් හැටියට කණගාටුවක් ඇතිවුනා අපේ රටේ කවදාද මම මේ වගේ දේවල් කරන්නේ කියල."

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනල සංධවනිය සිනමා සිත්තමද රැගෙන පසුගියදා ලන්ඩනයේ සංචායක නිරත වූ අවස්ථාවේයි, ඇය බීබීසී මැදිරියට ගොඩ වැදුනේ.

Image caption "අද හොඳ තිර රචනයක් දකින්නට ලැබෙන්නේ අතිශය කලාතුරකින්"

'බොර දිය පොකුණ' වැනි සිනමා නිර්මාණ වාරණයට ලක්වීම පිළිබඳව අදහස් දක්වමින් යශෝධා විමලධර්ම කියා සිටියේ එවැනි නිර්මාණයකට අවශ්‍ය ලිංගික දර්ශන හෝ යුද්ධයට අදාල දර්ශන කපාහැරීමට යෝජනා කිරීම නිර්මාණකරණයට එල්ල වන බාධාවක් බවයි.

සිනමා නිර්මාණවලින් මතුවන දේශපාලන මතවාදයට ශ්‍රී ලංකාවේ පාලක පන්තිය බියක් දක්වන බවට 'බොර දිය පොකුණ' අධ්‍යක්ෂ සත්‍යජිත් මාඉටිපේ දක්වන අදහස විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ නිර්මාණ ශිල්පියකුට නිදහසේ සිය නිර්මාණ එළිදැක්වීමේ නිදහසක් තිබිය යුතු බවයි.

'තනිකමක් නෑ'

ලාංකීය සිනමා ශිල්පීන්ගේ දක්ෂතා ඔප ගැන්වීම පිණිස රංග ශිල්ප ශාලිකාවක අවශ්‍යතාවය අවධාරණය කරන ඇය, ජාත්‍යන්තර රංගන පාසලක් හා සම්බන්ධව එවැනි පාසලක් ආරම්භ කිරීමට දායකවීම කලක් මුළුල්ලේ සිය සිත පෙලන බලාපොරොත්තුවක් බවත් සඳහන් කළාය.

"දීර්ඝ කාලීනව කර්මාන්තයක් හැටියට, කලාවක් හැටියට ඉදිරියට රැඳෙන්න නම් එවැනි අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි."

විවාහ නොවීම හේතුවෙන් තමන්ට කිසිදු හුදෙකලාවක් නොදැනෙන බවද යශෝධා විමලධර්ම බීබීසී සංදේශයට කියා සිටියාය.

"විවාහය කියන එක කෙනෙකුට අතිශය වැදගත් වෙන්න පුළුවන්. තව කෙනෙකුට නොවැදගත් වෙන්න පුළුවන්. අදටත් අහවල් පුද්ගලයා සමඟ ජීවත් වෙන්න ඕන කියන හැඟීම මට දැනිල නෑ."