ලිංගික හිරිහැරයන්ට එරෙහිව දෙදහස් එකොළහ වසරේ දිල්ලියේ පැවති උද්ඝෝෂණයකදී ගත් ඡායා රූපයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන තුළ සිදු වන ලිංගික හිරිහැර

ශ්‍රී ලාංකික මධ්‍යවේදිනියන්ගෙන් සියයට තිහක් පමණ මාධ්‍ය ආයතන තුළදීම ලිංගික හිරිහැරයන්ට ගොදුරු වන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය (IFJ) පවසයි.

ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය විසින් ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදිනියන් හතළිස් පස් දෙනකු යොදා ගනිමින් සමීක්ෂණයක් සිදු කර තිබේ.

තමාට ලිංගික හිරිහැරයන් සම්බන්ධයෙන් යම් කිසි අත්දැකීමක් ඇති බව ඉන් දහතුන් දෙනකුම කියා සිටි බව සමීක්ෂණ වාර්තාවේ කතුවරිය ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසා සිටියේ බීබීසීයේ සුනෙත් පෙරේරා සමග සාකච්ඡාවකට එක් වෙමින්.

‘බොහෝ විට ඔවුන් සමග වැඩ කරන ඉහළ නිලධාරීන්ගෙන් තමයි වැඩිපුරම බලපෑම් ඇති වන්නේ. දෙවනුව තමන් සමග වැඩ කරන සහෝදර පිරිමි ජනමාධ්‍යවේදීන්ගෙන්’ ඇය කියා සිටියාය.

බොහෝ ජනමාධ්‍යවේදිනියන් තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික හිරිහැරයන් සම්බන්ධයෙන් කතා කිරීමට අකමැති බව පවසන නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති ඒ හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වීමෙහි අඩුවක් දක්නට ඇති බවයි සඳහන් කළේ.

‘බොහෝ දෙනාගේ උත්තරය වුනේ ඒ ගැන කතා කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඒ ගැන පැමිණිල්ලක් කරන්න ඉදිරිපත් වුනේ නැහැ කියන ඒක’ ඇය පැවසුවාය.

'පරිභවයට'

එවැනි අත්දැකීමකට මුහුණ දුන් ජනමාධ්‍යවේදිනියක් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර, අනතුරුව අගතිය සිදු කරනු ලැබූ පුද්ගලයාට එරෙහිව ආයතනය විසින් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් එම ජනමධ්‍යවේදිනියට තවදුරටත් සේවය කර ගෙන යෑමේ ගැට‍ළුවක් මතු වන බවයි ඇය කියා සිටියේ.

‘මෙවැනි දේ වෙලා පරීක්ෂණයක් සිදු කළත් මේ දේවල් එළියට එනවා. බොහෝ විට එතනදී දෙවැනි වතාවටත් කාන්තාව අගතියට පත් වෙනවා.මොකද ඇය වරදකරුවකු කරන අවස්ථා බොහොමයි. සමාජය විසින් ඇයව පරිභවයට ලක් කරන අවස්ථා තියනවා’ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති සඳහන් කළාය.

තම මාධ්‍ය සගයන් විසින් සිදු කරනු ලබන අසභ්‍ය ඝනයේ විහිළු තහළු කිරීම්ද ලිංගික හිංසනයට අයත් වන බව ඇය පැවසුවාය.

ලිංගික හිරිහැරයන්ට ලක් වන මාධ්‍යවේදිනියන් සඳහා සාධාරණය ඉටු කිරීම පිණිස මාධ්‍ය ආයතන තුළ පිළිගත් යාන්ත්‍රණයක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියාය.