'මැතිවරණය;කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් නැහැ' - එජාප

මී ලඟ මහමැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟතාවයකට එළඹ නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළේ, අද (09) පැවැත්වුන මාධ්‍ය හමුවක දී බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බවයි.

එහෙත් එම අදහස බැහැර ලමින් එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පවසන්නේ, කැබිනට් මණ්ඩලය තුළ එවැනි එකඟතාවයක් ඇති නොවූ බවයි.

‘නැහැ! එවැනි කිසිම එකඟතාවයක් ඇති වුනේ නැහැ.ඉතා ඉක්මනින් කමිටු හදල ක්‍රියා කළ යුතුය කියන අදහස් ඉදිරිපත් වුනා. ඉදිරි මැතිවරණය කෙසේ පැවැත්විය යුතුද යන්න සාකච්ඡාවට ගැනීමටයි තීන්දු වුනේ’ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පවසයි.

ජාතික ආණ්ඩුව

මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවට සියලු දේශපාලන පක්ෂ එකඟ වී ඇතත් මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කළ යුත්තේ සියලු පාර්ශව සමඟ සාකච්ඡා සිදු කිරීමෙන් අනතුරුව බවයි ඇමතිවරයා පවසන්නේ.

මෙහිදී සුළුජන දේශපාලන පක්ෂ වල අදහස් ද සැලකිල්ලට ගත යුතු බව ඔහුගේ අදහසයි.

මී ළඟ මහ මැතිවරණය සහ ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් විවිධ ප්‍රකාශන කරන බව සඳහන් කළ ඇමති අකිල විරාජ් කාරියවසම්, දින සීයේ වැඩ සටහන අනුව පළමුව මැතිවරණය පවත්වා ඊ ලඟට ජාතික ආණ්ඩුවක් වෙත යොමු වීම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන බවයි කියා සිටියේ.

මී ළඟ මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තනිවම තරඟ වදින බවත් ඔහු පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් අනතුරුව අනුගමනය කරන බවට ප්‍රකාශිත දින සියයේ වැඩ සටහන අනුව අප්‍රියෙල් මස 23 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නව මහ මැතිවරණයක් කැඳවිය යුතු වෙයි.

මැතිවරණයකට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අදහස් ඉදිරිපත් වී ඇතත් තමන් ඊට එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ඇමතිවරයාත් පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.