'සංශෝධන ජන්ද බලය අපේ අතේ' - නිදහස් පක්ෂය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි විරෝධය පළ කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස මේ වන විට සකස් කර ඇති සංශෝධන පනත ලබන 24 වනදා හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යුතු බව පවසන විපක්ෂ නායකවරයා හදිසි පනතක් ලෙස රජය එය ඉදිරිපත්කළ හොත් ඊට විරුද්ධ වීමට සිදුවන බවයි පැවසුවේ.

" ජනතාවට, සිවිල් සමාජයට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිය යුතුයි මේ සම්බන්ධයෙන් සාකච්චා කරන්න, මොකක්ද තියෙන හදිසිය ? " යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සංශෝධනය සමගම මැතිවරණ පනතද සංශෝධනය කළ යුතු බව පැවසූ නිමල් සිරිපාලද සිල්වා එය කල්දැමීමට තම පක්ෂය එකග නොවන බව පැවසුවේ මේ සියළු යෝජනා සම්මත කිරීම සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බලය තම අත ඇති බව රජයට මතක් කරමින්.

ඔහු වැඩිදුරටත් අදහස් දැක්වුවේ " ජනපතිගේ බලතල අඩුකිරීමයි, මැතිවරණ සංශෝධනයි දෙකම එකට කරන්න ඕනේ, එක්සත් ජාතික පක්ෂය මේකට එකග වෙන්න ඕනේ, මොකද අපේ චන්ද 120 නැත්නම් ඔය එක සංශෝධනයක් වත් සම්මත කරන්න බැහැ" යනුවෙන් පවසමින්.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මාස තුනකින් පමණ සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම්දුන් බව බව පැවසූ විපක්ෂනායකවරයා ඒ අනුව අදාළ සංශෝධන සිදුකොට නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවයි අවධාරණය කළේ.

ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරුන් බෙදී යන ක්‍රම කිහිපයක්ම සාකච්ඡා වූ බව පැවසූ විපක්ෂනායකවරයා මේ සම්බන්ධයෙන් අවසන් එකගතාවයක් ඇති නොවූ බවයි පැවසුවේ.

" ආසන ක්‍රමයට 125 යි, සමනුපතික ක්‍රමයට 75 යි ජාතික ලය්ස්තුවෙන් 25 යි යන්න යෝජනා වුනු ක්‍රමයක්, නමුත් එකඟතාවයක් තවම නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර