ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එල්ටීටීඊ 'මුහුදු කොටි නායිකාව' ඇප මත නිදහස්

කටුනායක ගුවන් තොටුපලේදී පසුගියදා අත් අඩංගුවට ගැනුණු මුහුදු කොටි නායිකාවක බව පැවසෙන මුරුගේසු බහීරතී ඇප මත මුදා හරින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් රඳවාගෙන සිටි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ පොලිසිය, ඇය වසර දහයකට ආසන්න කාලයක් මුහුදු කොටි බලකායේ කටයුතු කර ඇතැයි පරීක්ෂණ වලින් තොරතුරු ලැබී තිබෙන බව සඳහන් කළේය.

සැකකාරියට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරන තෙක් ඇය ඇප මත මුදා හැරීමට විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දී ඇති බවද ත්‍රස්ත මර්ධන ඒකකයේ නිලධාරීහු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල, සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට නියම කළේය.

සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සතියකට වරක් තමන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තාකළ යුතු බවටද නියම කළේය.