ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැති මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි

ශ්‍රී ලංකාව ලබන දියුණුව ඉන්දියාවේ ප්‍රබෝධයට හේතු වෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරයි.

දින දෙකක සංචාරයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට ලඟා වූ ඉන්දීය අගමැතිවරයා අද (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමිනුයි එම ප්‍රකාශය කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආගම් භාෂා සහ සංස්කෘතිය අතින් බොහෝ සමීප සමානකම් සහිත රටවල් දෙකකැයි කියා සිටි ඉන්දීය අගමැතිවරයා දකුණු ආසියානු සංවර්ධනයේ ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වනු දැකීම සිය උවමනාව වන බවයි කියා සිටියේ.

බුදු සමය අතින් භාරතයට ඉතා වැදගත් තැනක් හිමිවන බව සඳහන් කළ අගමැති මෝදි දියුණුවේදී මෙන් ම ආපදාවේදීත් දෙරට අත්වැල් බැඳ ගැනීම වැදගත් වන බවයි සඳහන් කළේ.

ගිවිසුම් හතරක්

කලාපයේ ආරක්ෂාව අතින්ද ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බව ඉන්දීය අගමැතිවරයාගේ අදහසයි.

සිංහල සහ හින්දු නව වසර උදාවත් සමඟ ලබන අප්‍රියෙල් 14 වෙනි දින පටන් ඉන්දියාවට ලඟා වෙන ශ්‍රී ලාංකිකයන්ට දේශ සීමාවේ දී වීසා නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

ඉන්දීය නායකයා අද උදෑසන ශ්‍රී ලංකාවට ලඟා වීමෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම් හතරකට ද අත්සන් තැබුණි.

රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරීන්ගේ සංචාර වලදී වීසා නොමැතිව දෙරට අතර සංචාරය , රේගු කටයුතුවල දී දෙරට අතර සහයෝගය, තරුණ කටයුතු සංවර්ධනය සහ රුහුණ සරසවියේ රවීන්ද්‍රනාත් තාගෝර් පදනමක් ආරම්භ කරනු ලැබීමට අදාලවයි එම ගිවිසුම් හතර අත්සන් තැබුණේ.

1987 වසරේ සිදු වූ හිටපු අගමැති රජිව් ගාන්ධි ගේ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයෙක් මෙවර ශ්‍රී ලංකා භූමියට ලඟා වුණේ වසර විසි අටකට පසුවයි.