ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දූෂිතයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා - ජනපති

දූෂිතයන් බව සනාථ වුවහොත් මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ඕනෑම පුද්ගලයකුට තනතුරු, තානාන්තර නොබලා දඬුවම් කිරීමට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය බ්‍රිතාන්‍ය සංචාරය අතරවාරයේ ලන්ඩන් නුවරදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. (ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ අවසාන කොටසයි, මේ)

විශේෂයෙන්ම දූෂණ, වංචා සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව සහ වත්මන් පරිපාලනය අතර ප්‍රබල වෙනසක් දක්නට නොලැබෙන බවට සිය සම්බන්ධීකරණ ලේකම්වරයකුද වන ශිරාල් ලක්තිලක පසුගියදා කළ චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ දූෂණයට එරෙහිව පියවර ගැනීමේදී කිසිවකුගේ පදවි තානාන්තර තමන්ට අදාළ නොවන බවයි.

විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව දූෂණ විරෝධී හඬ ව්‍යාපාරය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද බරපතල චෝදනා එල්ල කොට තිබෙන්නේ නොවේ දැයි බීබීසී යේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රතිචාරය වූයේ "මම තමයි ඒකට කමිටුවක් පත් කළේ. මට තොරතුරු ලැබුණු වහාම පරීක්ෂණයට මම කමිටුවක් පත්කරලා තියෙනව," බවයි.

බලය බෙදීම

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ බරපතල දූෂණ වංචා පරීක්ෂා කිරීමේදී තමන්ට 'කලබලයක් නැති' බව පවසන ජනාධිපතිවරයා, වැරදිකරුවන් සොයාගන්නා බවටත්, "ඉහලම දඬුවම් දෙන" බවටත් ප්‍රතිඥා දුන්නේය.

Image copyright EPA
Image caption "ප්‍රධාන ජාතික ප්‍රශ්න විසඳීමට අපි අලුත් ආණ්ඩුවත් එක්කයි කටයුතු කරන්නේ. මේ මාසේ ඒවාට කාලයක් නෑනේ අපි මැතිවරණයකට යනවනේ?"

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ජාතික ප්‍රශ්නයට ලබා දෙන විසඳුම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි, ජනාධිපතිවරයා පවසන්නේ.

"ප්‍රධාන ජාතික ප්‍රශ්න විසඳීමට අපි අලුත් ආණ්ඩුවත් එක්කයි කටයුතු කරන්නේ. මේ මාසේ ඒවාට කාලයක් නෑනේ අපි මැතිවරණයකට යනවනේ? මැතිවරණයෙන් පස්සේ."

ඉන්දියාව මෙන්ම චීනයද ශ්‍රී ලංකාවේ සමීප මිතුරන් බව අවධාරණය කරන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, සිය ආණ්ඩුවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුල ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රශ්නයක් මතුවනු නැති බවට බලාපොරොත්තු පළ කළේය.

වරාය නගරය

චීන සමාගමක් විසින් ඉදිකිරීමට යෝජිත කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය නවතා දමන්නේ දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද කමිටුවේ වාර්තාව මත ඉදිරි පියවර ගැනෙනු ඇති බවයි.

චීන ව්‍යාපෘති දූෂිත බවට නැගෙන චෝදනාව සාධාරණ නොවන බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පැරණි මහින්ද රාජපක්ෂ පරිපාලනයේ සියලු ව්‍යාපෘතීන් දූෂිත බව කියා සිටියේය.

"රටේ සංවර්ධනය කියල පෙන්නපු සුන්දර සංවර්ධනය තුල තිබුනේ මහා දූෂිත බවක්. ඒක බොහොම පැහැදිලි සත්‍යයක්. අපිට ඒක යම් ආයතනයක්, පුද්ගලයෙක්, රටක් විදියට අපි කථා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ."

චීනය ශ්‍රී ලංකාවට ඉතා හොඳ ආයෝජකයෙක් බව පවසන ජනාධිපතිවරයා, මින් අනතුරුව ශ්‍රී ලංකාවට ලැබෙන ණය ප්‍රදානයන් දූෂණයෙන් තොරව රටේ සංවර්ධනය පිණිස යොදවන බවට ප්‍රතිඥා දුන්නේය.