ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උමා ඔය ව්‍යාපෘතිය: තවත් ආවාටයක්

උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගය ඉදිකිරීම තාවකාලිකව නතර කොට තිබුනත්, උමං මාර්ගය සිදු කෙරෙන බණ්ඩාරවෙලට නුදුරු අඹදන්දෙගම ප්‍රදේශයේ අද (15) හදිසි ආපදා තත්වයක් මතු වී තිබේ.

එම ආපදා තත්වය හේතුවෙන් පවුල් පහකට වහාම එම ස්ථානයෙන් ඉවත් වෙන මෙන් ප්‍රදේශීය ලේකම්වරයා නියෝග කළේය.

මතු වූ ආපදා තත්වය බීබීසීයට විස්තර කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කියා සිටියේ අඹදන්දෙගම ප්‍රදේශයේ නිවාස කිහිපයක් අසල බිම් කොටසක් ගිලා බසිමින් තිබෙන බවයි.

‘සාමාන්‍යයෙන් අරය මීටර් විසි පහක් පමණ වන ආවාටයක් අඹදන්දෙගම ඇති වෙමින් තිබෙනවා. මේ ආවාටය ක්‍රමයෙන් ගිලා බසිමින් තියෙන හැඩක් පෙනෙන්නට තියෙනවා. මේක ඉදිරියේදී කෙතරම් ගැඹුරට ගිලා බසීද කියල කියන්න බැහැ. ඉතා ආසන්නයෙන් නිවාස දෙකක් පවතිනවා.’ ලසන්ත ද සිල්වා පැවසීය.

Image caption උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මීට පෙර පැවති උද්ඝෝෂණයක්

'භික්ෂූන් වහන්සේ නමකට ප්‍රහාරයක්'

මේ අතර උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ ඉරාන ජාතිකයන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බව පවසමින් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශවාසීන් පිරිසක් උමා ඔය ව්‍යාපෘතියට විරෝධය පළ කරති.

කරඳගොල්ල රක්ඛිතාකන්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරඳගොල්ලේ සුගතරන්සි හිමියන් කියා සිටියේ තමන් වහන්සේ ගේ දෑසට යම් දියරයක් විදිනු ලැබූ බවත් ඉන් අනතුරුව රෝහල් ගත වීමට සිදු වූ බවයි.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද උන් වහන්සේ පැවසූහ.

හඬ පටය අමුණා ඇත.