ලෝක කුසලානය; වරද තේරීම් කමිටුව ද ?

Image copyright AFP
Image caption තරුණ ක්‍රීඩකයන්ට අවස්තාව සලසා දී නැති බවයි අර්ජුණ පවසන්නේ

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිඩ්නි නුවර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුයේ තේරීම් කමිටුවේ වරදකින් නොවන බව සිඩ්නි නුවර සිට සංදේශය ඇමතු ඩේලිමිරර් පත්‍රයේ ක්‍රීඩා වාර්තාකරු චන්නක ද සිල්වා පවසද්දී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග පවසන්නේ පරාජයට හේතුව තේරීම් කමිටුව බවයි.

මෙතෙක් පැවති හැම තරඟයක දීම තුන්සියය ඉක්මවා ලකුණු රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේ මෙවැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය හේතුව පැහැදිලි නැති බව සඳහන් කළ චන්නක ද සිල්වා පවසන්නේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉතා විශිෂ්ඨ ලෙස පිති කරුවන් සීමා කළ බවයි.

පරාජයේ පැහැදිලි හේතුව වන්නේ ශ්‍රී ලාංකික පිතිකරුවන්ගේ දුර්වල පිති හරඹය බවයි චන්නක ගේ අදහස වන්නේ.

“අදත් කුමාර් සංගක්කාර ඉතා විශිෂ්ඨ ලෙස පිති හරඹයේ යෙදුන. නමුත් ඔහුගේ සහයට අනිත් පැත්තෙන් පිති කරුවන් සිටියෙ නැහැ. ඒ වගේම දකුණු අප්‍රිකාව ප්‍රසිද්ධ වේග පන්දු යවන්නන් සඳහා නමුත් අද දඟ පන්දු යවන්නන් ඉදිරියේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ වුනේ” යනුවෙන් ඔහු පැවසීය.

‘පරාජයට තේරීම් කමිටුව හේතුවක් නොවෙයි’

මේ පරාජයට ක්‍රිකට් තේරීම් කමිටුව වගකිවයුතු බවට සමාජ මාධ්‍ය ජාල වල ක්‍රීඩා ලෝලීන් අදහස් දැක්වුවද චන්නක ද සිල්වා මෙම අදහස් ප්‍රතික්ෂේප කරයි.

මම කිසි සේත් ඒකට එකඟ වෙන්නෙ නැහැ. ඒ මොකද ඔවුන් තෝරාගත යුත්තේ ලංකාවේ සිටින හොඳම ක්‍රීඩකයින් අතරින් 15 දෙනෙක් පමණයි. ඉතිං මම හිතන්නෙ ඔවුන් මුලින් පහළොස් දෙනෙක් තෝර ගත්ත. ඒ අතරින් පස් දෙනෙක් පමණ විවිධ අබාධයන්ට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වුණා. ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයින් පස් දෙනෙක් ආදේශ කළා. ඒ අනුව ක්‍රීඩකයන් විසි දෙනෙක් ගෙන් යුත් සංචිතයක් තමයි මේ ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදුනෙ. මීට වැඩිය හොඳ ක්‍රීඩකයින් ලංකාවෙ ඉන්නව කියල මම හිතන්නෙ නැහැ. යනුවෙන් ඔහු පැවසීය.

එහෙත් වසර තුනක කාලයක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි කුසල් පෙරේරා මෙම තරඟය සඳහා යොදා ගැනීමත්, දිල්ෂාන් තිලකරත්නට ගැලපෙන සහායක පිතිකරුවෙක් තෝරා ගෙන නොතිබීම වැනි කරුණු මත පදනම්ව මෙම චෝදනා නැගෙන බව සංදේශය පැවසූ විට චන්නක කියා සිටියේ කුසල් දුර්වල පිති කරුවෙක් ලෙස සැලකිය නොහැකි බවයි.

“තරමක් ආන්දෝලනාත්මක සිදුවීමක් වුනේ මෙතෙක් කල් ආරම්භක පිතිකරු ලෙසින් සිටි ලහිරු තිරිමාන්න අංක 4 වැනි ස්ථානයට දාල කුසල් පෙරේරාට ආරම්භක පිතිකරුවෙක් වශයෙන් පිටියට පිවිසෙන්න අවස්තාව ලබා දීම සම්බන්ධව” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

'පරාජයට වගකිව යුත්තේ තේරීම් කමිටුවයි'

එහෙත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග ගේ අදහස වන්නේ පරාජයට තේරීම් කමිටුව හේතුවක් වූ බවයි.

කිසිදු දැක්මකින් තොරවීම නිසා ඉදිරියේ ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමුගත් පසු කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා තරුණ ක්‍රීඩකයන් පුහුණු කිරීමට තේරීම් කමිටුව හෝ ප්‍රවීණ ක්‍රීඩකයන් ක්‍රියාකර නැති බවයි ඔහු පවසන්නේ.

චන්දිමාල්, තිරිමාන්න, කරුණාරත්න වැනි නවක දක්ෂයන්ට ඉදිරි පෙළ තරඟ කිරීමට අවස්තාව සලසා දිය යුතු බවයි අර්ජුන ගේ අදහස.

“අපි 1996 න පස්සේ අපේ ස්ථාන වලින් අපි අයින් වුණා. මම නොම්මර 4 ක්‍රීඩා කර කර ඉඳල මම නොම්මර පහට ගියා. අනූ හයෙන් පස්සේ මම නොම්මර හයට ගියා. අපි මහේල ලට සංගක්කරලට දිල්ෂාන්ලට අපේ මැදින් ක්‍රීඩා කරන්න දීල අපි මේ ක්‍රීඩකයෝ ටික හැදුව. අරවින්ද ද සිල්වා වගේ ක්‍රීඩකයෝත් පස්සට ආව තව ක්‍රීඩකයෙක් හදන්න” යනුවෙන් පැවසූ අර්ජුන තමා මේ පිළිබඳව චෝදනා කරන්නේ තේරීම් කමිටුවට බවයි අවධාරණය කළේ.

අද ජයග්‍රහණය පිලිබඳ සිතන ගමන් අනාගතයේ ජයග්‍රහණ ගැනත් සිතීමට තේරීම් කමිටුව අපොහොසත් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.