ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාතික ගීය දෙමළ බසිනුත්

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීමට අනුමැතිය දීම මගින් ‘එය වැලැක්වීම නුසුදුසුය’ යන අදහස ජනාධිපතිවරයා විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේය යන්න තම මතය වන්නේ යයි යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

එම පියවර ‘බලහත්කාරය’ යන කාරණය යම් තාක් දුරකට ඉවත් කිරීමට හේතු වෙන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්, එසේම එය එක්තරා දුරකට ජාතික සංහිඳියාවට ඉවහල් වන බවත් පෙන්වා දෙයි.

බීබීසී සිංහල සංදේශය සමඟ සාකච්ඡාවක දී යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සිහිපත් කළේ ,කලින් ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් පාසල් පාඩම් පොත් වලට පවා ඇතුළත් කර තිබුණ බවයි.

‘ආනන්ද සමරකෝන් ශූරීන් විසින් රචනා කරන ලද ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කරලා එය දෙමළ පෙළ පොත්වලට පවා ඇතුළත් කර ළමුන්ට දී තිබුණා. බොහෝ විට රාජ්‍ය උත්සව වලදී පාසල් උත්සව වලදී ගායනා කෙරුණේ එම දෙමළ පරිවර්තනයයි. සිංහල භාෂාවෙන් ගයන ගීයේ සංගීතයමයි ඒ සඳහා යොදා ගැනුණේ’ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

දෙමළෙන් සිංහලට

එහෙත් යුද සමයේ සිංහල භාෂාව කතා කරන ඇමතිවරුන් දේශපාලනඥයන් සහ ආණ්ඩුකාරවරුන් පිනවීමට ඔවුන් සහභාගී වෙන උත්සව වලදී දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශ වලත් ජාතික ගීය සිංහලෙන් ගායනා කරවීමට පටන් ගත් බවයි කථිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

Image copyright AFP
Image caption යාපනයේ පාසල් ළමුන්.වසර 2014 ට පසු ගත් ඡායාරූපයකි.

‘එම අවස්ථාවල සිදු වුනේ සිංහල ජාතික ගීයේ කලින් පටිගත කෙරුණ හඬ පටයක් වාදනය කිරීමයි. ඒ අතර ඇතැම් රාජ්‍ය නිලධාරීන් ජාතික ගීය දෙමළ ළමුන් ලවා සිංහල භාෂාවෙන් ගායනා කරවීමට උත්සාහ කළා. එතකොට තමයි ප්‍රශ්නය මතු වුණේ. මොකද? ගායනා කරන ළමුන්ට හෝ එම අවස්ථාවට සහභාගී වෙමින් එය අසන ජනතාවට හෝ එය තේරෙන්නේ නැහැ. දෙපාර්ශවයේම ජාතිවාදී දේශපාලකයන්ගේ ක්‍රියා සමඟ එය ප්‍රශ්නයක් බවට හැරුනා’ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ප්‍රශ්නය සමාලෝචනය කරමින් විග්‍රහ කරයි.

එකමුතු අභිලාෂය

ජාතික ගීයක් යනු රටක ජනතාව පොදුවේ රට ගොඩ නැගීම වෙනුවෙන් බැඳී කටයුතු කිරීමට ඇති කැපවීම එකට එකමුතුව කියා සිටින නිර්මාණයක් වන හෙයින් එය පොදු ජාතික අභිලාෂයක් නිරූපණය කරන්නක් වන බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ.

එය ජනතාව අභ්‍යන්තරයෙන්ම මතු විය යුතු දෙයක් මිස බලහත්කාරයෙන් ඇති කළ හැකි දෙයක් නොවන බවත් ඔහු පවසයි.

ජාතික ගීය සහ ජාතික කොඩිය වැනි දේ සහ ඒවා තුලින් මතු කෙරෙන සංකේත සහ අදහස් පිළිබඳව ගැඹුරින් සලකා බලා ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික සමාජ අභිලාෂයන්ට ඒවා අනුගත වන්නේදැයි විමසන විට එම සියලු දේවල් යළි සංශෝධනය විය යුතු තත්වයක පවතින බවයි යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ.