'චුන්නාකම් ජලයට විෂ මිශ්‍ර වී නැහැ'

යාපනයේ චුන්නාකම් පළාතේ පානීය ජලයට කිසිදු විෂ ද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් මිශ්‍ර වී නැතැයි ඒ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ යාපනය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය කුගමූර්තී වේලායුදමූර්තී බීබීසීයට පැවසීය.

යාපනය විශ්ව විද්‍යාලයේ සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලද්දේ යාපනයේ මල්ලාකම් අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගයකට අනුව බවද ඔහු පැවසීය.

මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලය සහ තවත් ආයතනයක් මගින් කළ පර්යේෂණයකින්ද එය තහවුරු වී ඇති වගද ඔහු සඳහන් කළේය.

චුන්නාකම් විදුලි බලාගාරයෙන් ඉවත් කෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් එම පළාතේ පානීය ජලයට විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය මුසු වීම නිසා ප්‍රදේශයේ පවුල් 17000ක් පමණ දැඩි පාරිසරික අවදානමකට ලක්ව ඇති බවට යාපනය මල්ලාකම් අධිකරණයේ ගොනු කරණ ලද නඩුවකට අනුව චුන්නාකම් විදුලි බලාගාරය තාවකාලිකව වසා දමන මෙන් පසුගිය දා නියෝගයක් නිකුත් කෙරිණි.

ඒ අනුව එම විදුලි බලාගාරය පවත්වා ගෙන ගිය උතුරු ලංකා පෞද්ගලික විදුලි සමාගම සිය නිෂ්පාදන කටයුතු නතර කොට දමා මල්ලාකම් අධිකරණය මගින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් යාපනය මහාධිකරණයට ඇපෑලක්ද ඉදිරිපත් කොට තිබේ.

ආචාර්ය කුගමූර්තී වේලායුදමූර්තී තවදුරටත් පැවසුවේ ඇමරිකාවේ සහ ඕස්ට්‍රෙලියාවේ ක්‍රියාත්මක දෙමළ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් ප්‍රොග්-4000 නමින් හඳුන්වනු ලබන නවීන යන්ත්‍රයක් මෙම පරීක්ෂණ කටයුතු සදහා ලබා දීමෙන් පසුව චුන්නාකම් විදුලි බලාගාරයේ සිට කිලෝමීටර් දෙකක් දුරට වෘත්තාකාරව කළ පර්යේෂණ වලදී එම පළාතේ ජලයට කිසිදු විෂ ද්‍රව්‍යයක් මිශ්‍ර වී ඇති බවට සාධක හමු නොවූ වගයි.

චුන්නාකම් පළාතේ ජල සාම්පල කීපයක් සිංගප්පුරුවේ තවත් රසායනාගාරයකට යවා ඇති බැවින් එහි ප්‍රතිඵලය ලැබෙන තුරු චුන්නාකම් පළාතේ වැසියන්ට දැනට එම පළාතේ ඇති ජලය පානය කරණ ලෙසට උපදෙසක් ලබා දිය නොහැකි බවද අචාර්ය කුගමූර්තී වේලායුදමූර්තී වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර