'දැරියක් පැහැරගැනීම': ඇමති රාජිතට නොතීසි

Image caption දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බවට ඇමතිවරයා සහ පවුලේ සාමාජිකයන්ට චෝදනා. ඇමතිවරයා එය ප්‍රතික්ෂේප කරයි.

දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවට දැරියගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම පිණිස අප්‍රේල් දෙවැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු දහසය දෙනකුට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කළේය.

අධිකරණය එම නියෝගය කළේ 2014 පෙබරවාරි 24 වැනි දින සිය දියණිය පැහැරගෙන ගොස් මේ දක්වා රඳවාගෙන සිටින බවට දැරියගේ පියා වන ගාමිණී රණසිංහ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න, අමාත්‍යවරයාගේ බිරිඳ සුජාතා සේනාරත්න ඇතුළු දහසය දෙනකු පෙත්සම්කරු විසින් විත්තිකරුවන් ලෙසින් නම් කරනු ලැබ තිබුණි.

'සිය කැමැත්තෙන්'

සිය දැරිය පැහැරගෙන යාම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොපැවැත්වූ බවට පොලිසියට චෝදනා කරන දැරියගේ පියා, එවක් පටන් පටන් මේ දක්වා සිය දැරිය දැකගැනීමට පවා තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

එබැවින් තමාත්, බිරිඳත් බරපතල මානසික ගැටලුවලට මුහුණ දී සිටින බවත් පැමිණිල්ලේ සඳහන්.

එහෙත් දේශපාලන අරමුණකින් ඉදිරිපත් කෙරෙන්නක් බව පවසමින් අමාත්‍ය රාජිත සේනාරත්න දැරියගේ පියා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

දෙමාපියන්ගේ හිරිහැර ඉවසාගත නොහැකි බව පවසමින් දැරිය සිය කැමැත්තෙන් තම නිවසට පැමිණි බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.