උත්තම පූජා;ගැබිණි මව් පෙළහර

Image copyright courtecourtesy presidents media

නිවසේ ගැබිණි මව්වරුන් වේනම් ගෙදරක ගහක වැලක හැදෙන පලතුරක් හෝ එළවළුවක් පළමුව ඔවුන්ට පිළිගැන්වීමේ චාරිත්‍රයක් ශ්‍රී ලංකා සමාජයේ පැවති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ගර්භනී මාතාවන්ට පෝෂණ ආහාර බෙදා හැරීමේ ව්‍යාපෘතිය පොළොන්නරුවෙන් ආරම්භ කරමිනුයි ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ.

වසරකට රුපියල් විසි දාහක දීමනාවක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරණ පොරොන්දුවකි.

මව් වරුන්ට සැලකීමේ ශ්‍රී ලංකා සංස්කෘතිය ගැන අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ගැමි සමාජය ආගමික නායකයන්ට ගෞරවයෙන් ඇප උපස්ථාන කරන ආකාරයට ම ආහාරයේ පළමු කොටස මව්වරුන්ට පිලි ගැන්වීමේ සිරිතක් පැවති බවයි පෙන්වා දුන්නේ.

මවට මුල් තැන

ශ්‍රී ලංකාවේ විවිධ පලාත්වල මව්වරුන්ගේ තත්වය ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, අද මාතෘ මන්ද පෝෂණය නරක තත්වයක පවතින බවයි.

පළමු වතාවට ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමට රුපියල් 20,000 ක මුදලක් ලබා දීම ශ්‍රී ලංකාවේ අනාගත පරපුර හැදීමේ පියවරක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

Image copyright courtesy presidents media

අඩු බර දරුවන්ගේ ගැටලුව රටින් තුරන් කිරීමට ගත් පියවරක් ලෙසයි අගමැතිවරයා එම වැඩසටහන හඳුන්වා දෙන ලද්දේ.

‘මම හිතන්නේ නැහැ මේ කලාපයේ වෙනත් රටවල් වල මෙවැනි පියවරක් ගෙන තිබෙනවා කියල’ ඔහු පැවසුවේය.

සමාජ ක්‍රමයේ පවතින අඩු පාඩු හඳුනා ගෙන තවදුරටත් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ. තවත් සහන අඩු බර දරුවන්ගේ ප්‍රශ්නය රටින් තුරන් කිරීමට නම් ගැබිණි මව්වරුන්ට සහ එම පවුල්වලට මුදල් තිබිය යුතු බව කියා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජීවන බර වැඩි වන තරමට පවුලේ ආදායමද අඩු වන බව පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ පළමු පියවර ලෙස තෙල් මිල අඩු කළ බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කිරීමටද පියවර ගත් බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

රට පුරාම තත්වය

Image copyright courtesy presidents media

ගැබිණි මව්වරුන්ට පෝෂණ ආහාර බෙදා දීමේ අවස්ථාවේ අදහස් පළ කළ ළමා කටයුතු භාර ඇමතිනී රෝසි සේනානායක ශ්‍රී ලංකාවේ විවිධ පලාත්වල මාතෘ සහ ළමා මන්ද පෝෂණය පවතින දරුණු මට්ටම සංඛ්‍යා ලේඛන සහිතව විස්තර කළාය.

‘උතුරු නැගෙනහිර සහ වතුකරයේ මෙම මන්දපෝෂණය 18% සහ 20% දක්වා ඉහල ගිය බව අපි දැකල තියෙනව. වතුකරයේ ගැබිණි මවකගේ මන්දපෝෂණය යකඩ ඌනතා නිරක්තිය 41.6 % යි. රාජ්‍ය දත්ත අනුව කිලිනොච්චියේ පමණක් ළමා මන්දපෝෂණය 40.6% ක් වෙනවා. මොනරාගල 31.5% ක් වෙනවා. මේ තත්වය නිසා ළමුන් ක්ෂය වෙනවා කුරු වෙනවා’ රෝසි සේනානායක ඇමතිවරිය පෙන්වා දෙයි.

ළමුන්ට මුල් ළමා වියේ සංවර්ධනය අහිමි වීම ඔවුන්ගේත් රටෙත් අනාගතයට තීරණාත්මකව බලපාන බවයි ඇමතිවරිය පෙන්වා දෙන්නේ.