'අපේ දරුවන් අපට දෙන්න' - දෙමාපිය උද්ඝෝෂණ

Image caption දරුවන් ඉල්ලන මව්වරුන්

යුද සමයේ සිදු කෙරුණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සාධාරණ විභාගයක් සහ ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා සිටිමින් අද ( 23) උතුරු සහ නැගෙනහිර පළාත්වල මහජන උද්ඝෝෂණ ව්‍යාපාර මාලාවක් දියත් කෙරුණි.

යාපනය වව්නියාව මන්නාරම ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රධාන නගරවල මහජන උද්ඝෝෂන මෙන්ම බලධාරීන්ට පෙත්සම් භාර දීම් ආදිය සිදු කෙරුන බවයි බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සඳහන් කළේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන නගර රාශියක මහජන විරෝධතා ව්‍යාපාර පවත්වන ලද අතර සිය පක්ෂය ද ඒ සඳහා සහයෝගය දුන් බවයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහජන විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ අතුරුදහන් වූවන්ගේ දෙමාපිය සංගමයේ සභාපති සෙබස්තියන් ඩේවි බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින්, තම සංවිධානය බලධාරීන්ගෙන් කරන ඉල්ලීම වන්නේ අතුරුදහන් දරුවන්ට සිදු වූ දේ පිළිබඳව තමන්ට තොරතුරු ලබා දීම වන බවයි.

එසේම එම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුමෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් සෙබස්තියන් ඩේවි කියා සිටියි.

Image caption දෙමාපිය සංවිධානයක තවත් උද්ඝෝෂණයක්

ඉඩම් ආපසු ජනතාවට

මේ අතර උතුරේ අධි ආරක්ෂිත කලාප සඳහා පවරා ගෙන තිබුන ඉඩම් නිදහස් කිරීමක් අද යාපනයේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අතින් සිදු කෙරුණි.

අධි ආරක්ෂිත කලාප සඳහා පවරා ගෙන තිබුණ ඉඩම් අක්කර දහස් ගණනක් ඒවායේ හිමිකරුවන්ට පැවරීමේ පළමු අදියර ආරම්භ කරමිනුයි එම පියවර ගනු ලැබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර