ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට

Image copyright EPA
Image caption විධායක ජනාධිපති සහ අගමැති පදවිවලට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් පාලක සන්ධානයේ මතභේද

විධායක ජනාධිපති පදවියේ බලතල කප්පාදු කරමින් අගමැති පදවියට වැඩි බලතල පැවරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

නව සංශෝධන අනුව වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට අහිමි වන අතර, විධායක ජනාධිපතිවරයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණි.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කෙරුණු ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථාදායක සභාව යළි ස්ථාපිත කිරීමටද 19 වැනි සංශෝධනයෙන් යෝජනා කෙරේ.

ව්‍යවස්ථාදායක සභාවට අමතරව විශේෂ රාජ්‍ය මණ්ඩලයක් (Council of State) පිහිටුවීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවත් පසුව එය සංශෝධිත කෙටුම්පතෙන් ඉවත්කොට ඇති බවත් වාර්තාවේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කට සීමාවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 කට සීමාවිය යුතු බවත් සංශෝධනයට ඇතුලත්.

වීධායක ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා වන අතර, ආණ්ඩුවේ නායකත්වය හොබවන්නේ ජනාධිපතිවරයාද, අගමැතිවරයාද යන්න සම්බන්ධයෙන් පාලක සන්ධානයේ දේශපාලන පක්ෂ අතර මතභේදයක් හටගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර