ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපහාස කළ අයත් ඇමතිවරු: ජනපති 'පුදුම මනුස්සයෙක්'

මැතිවරණයේදී තමන් දැඩි විවේචනයට ලක් කරමින් අපහාස කළ පුද්ගලයන්ට පවා අමාත්‍ය ධුර පිරිනැමීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මහත්මා ගුණය ප්‍රදර්ශනය කෙරෙන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

කැබිනට් මණ්ඩලයට අලුත් අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව පෞද්ගලිකව තමන්ගේ විරෝධයන් නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

"අපිට අවශ්‍ය වෙලා තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනිච්ච ඒ අත්තනෝමතික පවුල්වාදී පාලනය වෙනස් කරන්න සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවන්න," අමාත්‍යවරිය සංදේශයට කියා සිටියාය.

'කාන්තාවන්ට කළ අපහාසයක්'

විශේෂයෙන්ම ජනපතිවරණයේදී ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට අපහාස කළ එස්බී දිසානායක ඇමතිවරයාට යළිත් වරක් අමාත්‍ය පදවි පිරිනැමීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

Image caption හිටපු ජනපතිනිය පිළිබඳව එස්බී දිසානායක අමාත්‍යවරයා මැතිවරණයේදී කළ ප්‍රකාශ 'කාන්තාවන්ට කළ අපහාසයක්'

එස්බී දිසානායක අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරිය සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශවලට තමා දැඩි විරෝධය පළ කළ බවයි, අමාත්‍යවරිය පවසන්නේ.

"ඒක කාන්තාවන්ට කරපු බරපතල අපහාසයක් හැටියට මම දකින්නේ."

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයට නව පත්වීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එකඟත්වය පළකරන්නට ඇති බවත් අමාත්‍යවරිය කියා සිටියාය.

"එහෙම කතා කරපු අය පත්වීම් භාර ගන්න කොට පත්වීම් භාරගත්ත එක්කෙනා ගැන තමයි පොඩ්ඩක් කල්පනා කරන්න වෙන්නේ," ඇමතිනී තලතා අතුකෝරල සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

යළිත් වරක් කැබිනට් මණ්ඩලයට එක්වීම පිළිබඳව අදහස් විමසීම පිණිස එස්බී දිසානායක අමාත්‍යවරයා සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

එමෙන්ම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා යළිත් වරක් අමාත්‍ය මණ්ඩලයට එක් වූ පමණින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සම්බන්ධයෙන් ආරම්භ කොට තිබෙන විමර්ශනය නතර නොවන බවත් තලතා අතුකෝරල ඇමතිවරිය අවධාරණය කළාය.