චීනය සමඟ සහයෝගිතාව වර්ධනය කරනවා - හර්ෂ

Image copyright defence.lk

සුළු මට්ටමින් ගැටළු මතුවී ඇතත් එම ගැටළු නිරාකරණය කර ගෙන නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන රජයක් හැටියට චීනය සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට බලාපොරොත්තු වෙන බව ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

චීනයත් ශ්‍රී ලංකාවත් අතර සංවර්ධන සහයෝගිතාව දශක ගණනාවක් මුළුල්ලේ පවතින බව සඳහන් කළ නියෝජ්‍ය ඇමතිවරයා අනාගතයේ දී දැනටත් වඩා ආර්ථික සහයෝගිතාවක් ගොඩ නඟා ගැනීමට බලා පොරොත්තු වෙන බව සඳහන් කළේය.

නිර්දෝෂීයි

නියෝජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේ, 'චීන රජය නිර්දෝෂී බවත් චීන සමාගම් දූෂිත බවටත්' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ චීනය බලා පිටත්ව යාමට පෙර මුදල් ඇමති රවී කරුණානායක කළ මතභේදාත්මක ප්‍රකාශය පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින්.

වරාය, ගුවන් තොටුපොල සහ පාරවල් ඉදි කිරීම ආදී යටි තළ පහසුකම් සඳහා චීනය ණය ලබා දී ඇති බව පැවසූ ඔහු මේ ව්‍යාපෘති සම්බන්ධ පිරි වැය සහ පොලී අනුපාත වැනි ගැටළු ඇති බව ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පින්ග් දූෂණයට විරුද්ධව එරට විශාල යුද්ධයක් ගෙනි යන බව පැවසූ ඇමතිවරයා දූෂිත කටයුතුවලට සම්බන්ධ 17,000 ක පමණ පිරිසක් සිර ගත කොට සිටින බවත් සඳහන් කළේය.

Image copyright Harsha De Silva

දූෂණය සහ සංවර්ධනය පටලවා ගත යුතු නැති බවයි ඔහු පැවසුවේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ග් ටත් අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ දූෂණයෙන් තොර ආර්ථික සහයෝගිතාවක් ඇති කර ගැනීම බව ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

දැඩි ක්‍රියා මාර්ග

පසුගිය රජය වකවානුවේ දූෂිත ගනු දෙනු සිදුවී ඇත්නම් චීනය,ඉන්දියාව හෝ වෙනත් රටක් වුවත් ඒ පිළිබඳ ව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.

“එය අපේ රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක් හැටියට බලන්න නරකයි. පුද්ගලයන් අතර වෙච්ච දූෂිත ගනු දෙනුවක් වෙලා තියෙනවා නම් ඒක ඒ විදිහටයි බලන්න ඕනැ ,” නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර