'දේශීය පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බරයේ දිය යුතුයි'

Image copyright AFP

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් දේශීය වශයෙන් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට දැනුම් දීම අත්‍යවශ්‍ය කාරණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

පසුගිය රජය සමයේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවස්ථා ගණනාවක දීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර අද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වීම හේතුවෙන් තමන්ට හිමිවුණු අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුවයි මාධ්‍යයට මෙම අදහස් පළ කළේ.

"සැප්තැම්බර් මාසයේ අපිට ගිහිල්ල කියන්න පුළුවන් වෙන්න ඕනේ අපි දේශීය පරීක්ෂණ හරහා අපි මේ ගැන සොයා බලල තියෙනවා, මේ නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා, මේවා ක්‍රියාත්මක වෙනවා, නැත්නම් අපිට ගොඩක් අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දෙන්න සිදු වේවි" මුදල් රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ආර්ථික සම්බාධක

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු මාසයේ එළිදැක් වීමට සැලසුම් කර තිබූ පරීක්ෂණ වාර්තාව සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට හැකි වීම මෛත්‍රිපාල සිරිසේන රජයේ විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ යම් හෙයකින් මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ගෙන ආවේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පවා පැනවීමට හැකියාවක් තිබූ බවයි සඳහන් කළේ.

‘සමහරු ප්‍රකාශ කරනවා ආර්ථිකය නැත්තටම නැතිවෙලා. කොටස් වෙළද පොළ කඩා වැටිලා කියලා ප්‍රකාශ. නමුත් ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වෙලා ආර්ථික සම්බාධක වගේ දේවල් ආවනම් මේ රටේ ආර්ථිකය නැත්තටම නැති වෙනවා කියලා කියන්න මම කැමතියි’ අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉතා කෙටි කාලයක් තුල දී ජාත්‍යන්තරව ලැබූ ප්‍රසාදය රටට ඉතා වැදගත් බව පැවසූ අමාත්‍ය මහින්ද සමරසිංහ ජාත්‍යන්තරයේ එක් කොටසක පමණක් නොව සියළු දෙනාගේ සහය තිබීමේ වැදගත්කම ඉන් පෙන්නුම් කරන බවයි කියා සිටියේ.

"සියළු දෙනාත් එක්ක අපි සුහදතාවය වර්ධනය කරන්න ඕනේ, එතොකට තමයි මානව හිමිකම් කවුන්සිලයේ අපි ඡන්ද 12ට බහින්නේ නැතුව යෝජනා වළක්වා ගන්න පුළුවන්" ඔහු ප්‍රකාශ කළේය.

අතුරුදහන් වුවන් ගැන සොයා බැලීම සදහා පත් කළ කොමිසමේ අතුරු වාර්තාව දැන් සුදානම් බව පැවසූ අමාත්‍ය මහින්ද සමරසිංහ එය ජනතාවට දැක බලා ගැනීම සදහා ප්‍රසිද්ධ කල යුතු බවයි පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර