ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'වරාය නගර කටයුතු නැවත අරඹන බව සිරිසේන ජනපති පැවසුවා' - චීනය

පවතින ගැටළු නිරාකරණය කර ගත් පසු වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු යළි අරඹන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීන නායකයා ට පැවසූ බව චීන විදේශ අමාත්‍යංශ නිලධාරියෙකු මාධ්‍ය කරුවන්ට ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන නායක ෂි ජින්පින් දෙරට අතර පැවත එන දිගුකාලීන සබඳතාව නැවත වරක් සහතික කරමින් මධ්‍යම බෙයිජිං ජනතා ශාලාවේ දී පැවති ඔවුන් ගේ ප්‍රථම හමුවේ දී එසේ පැවසූ බවයි වාර්තාවන්නේ.

කෙසේවුවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එසේ පැවසූ බව සනාථ කෙරෙන ප්‍රකාශයක් ශ්‍රී ලංකා පාර්ශවයෙන් මෙතෙක් පළවී නැහැ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළ බව මාධ්‍යට පවසා ඇත්තේ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු ජියැන් චාඕවිසින්.

'තාවකාලිකයි'

“ඔහු (සිරිසේන ජනාධිපතිවරයා) අවධාරණය කළා දැනට කොළඹ වරාය නගරය සම්බන්ධව සිදුවෙමින් පවතින දේ තාවකාලිකයි කියල එසේම ඔහු පැවසුවා ගැටළුව පවතින්නේ චීන පාර්ශවයේ නොවන නිසා ගැටළු නිරාකරණය කරගත් පසු යෝජනා ක්‍රමයේ වැඩ නැවත කරගෙන යාමට බලාපොරොත්තු වෙනව කියල” යනුවෙන් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු ජියන්චාඕ ප්‍රකාශ කල බවයි වාර්තා වන්නේ.

සිරිසේන රජය ඇමරිකානු ඩොලර් බිලියන පහක් වූ චීන ණය මුදල් පිලිබඳ නැවත සලකා බලන ලෙස චීනයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙයි.

එහෙත් මින් පෙර චීනය පවසා තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇත්තේ ද අනෙකුත් රටවලට හා සමාන යුක්ති සහගත ආකාරයකින් බවයි.

එහෙත් ණය පිලිබඳ නැවත සලකා බලන තරමේ දුරකට නායකයන් දෙදෙනා අතර සාකච්චා ඇදී නොගිය බවයි චීන නියෝජ්‍ය විදේශ ඇමතිවරයා පැවසුවේ.

ආරක්ෂක සබඳතා

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමක් ලෙස හමුදා පුහුණුව ලබා දීම සහ යුධ උපකරණ සැපයීම වැනි කටයුතු පිලිබඳ නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු ජියැන් චාඕ පැවසුවේ චීනයේ යෝජිත ආසියානු යටිතල පහසුකම් පිලිබඳ ආයෝජන බැංකුව විසින් මුල්‍යාධාර සපයන යෝජනාක්‍රම ඇතුළුව තවත් නව ආයෝජන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාව චීනයේ පාර්ශව කරුවකු ලෙස සලකන බව සඳහන් කළ චීන නායකයා ප්‍රකාශ කළේ වැදගත් පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස චීන-ශ්‍රී ලංකා සබඳතා ඔසවා තැබිය යුතු බවයි.

“චීනය හැමවිටම ශ්‍රී ලංකාව කලාපයේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ස්ථානයක තබා තිබෙනවා” යනුවෙන් චීන නායක ෂින් පැවසුවේ මාධ්‍ය වාර්තාකරුවන් අමතමින්.

චීනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග පැවැත්වූ ඉතා සමීප සබඳතාව තුළින් ගැටළු පැවතිය ද චීන ආධාර යටතේ යෝජනා ක්‍රම කිහිපයක් ම ආරම්භ කළේය.

සිය ප්‍රථම චාරිකාව සඳහා නව දිල්ලිය තෝරා ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා ඉන්දියාවට ගැටලුවක් නොවන සේ සමතුලිත ව තබා ගැනීමයි.