"වරාය නගර ව්‍යාපෘතිය වහා අරඹන බවට පළවූ වාර්තා සාවද්‍යයි"

Image copyright Ajith P Perera

වරාය නගර ව්‍යාපෘතිය වහාම ආරම්භ කිරීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා චීනයේදී එකඟ වූ බවට පළවූ වාර්තා සාවද්‍ය බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා ප්‍රකාශ කරයි.

කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් මත එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එය දිගටම කර ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව රජය තවමත් තීරණයක් ගෙන නැති බවත් ඔහු අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

වරාය නගර ව්‍යාපෘතිය හෝ එහි ඇති ගැටළු පිළිබඳව කිසිදු විස්තරාත්මක සාකච්ඡාවක් චීන ජනාධිපතිවරයා සමඟ හෝ නිලධාරීන් සමඟ හෝ සිදු නොවුනු බව ඔහු අවධාරණය කළේය.

චීනය විසින් කරනු ලබන ආයෝජනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සලකා බලන බව, ජනාධිපතිවරයා සඳහන් කළ එකම කරුණ බවයි ඔහු පැවසුවේ.

යහපාලනය

යහපාලනය පිළිබඳ මූල ධර්ම මත බලයට පත්වූ රජයට ඒවා පිළිබඳව සොයා බලන්නට සහ යළි සලකා බලන්නට අවශ්‍ය බවයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා ප්‍රකාශ කළේ.

චීන රජය විසින් නිකුත් කොට ඇති නිල ප්‍රකාශයේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එරට පැවති සාකච්ජාවලදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට එකඟ වූ බව සඳහන් කොට නැති බව ඔහු පෙන්වා දුන්නේය.

වරාය නගර ව්‍යාපෘතිය වහාම ආරම්භ කිරීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා චීනයේදී එකඟ වූ බවට පළවූ ජනමාධ්‍ය වාර්තාවලට පදනම් වී ඇත්තේ චයිනා ඩේලි(China Daily) වෙබ් අඩවියේ පල කරන ලද සාවද්‍ය වාර්තාවක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

චයිනා ඩේලි(China Daily)

චයිනා ඩේලි(China Daily) වෙබ් අඩවියේ පළ කළ එම සාවද්‍ය වාර්තාව ශ්‍රී ලංකා මාධ්‍ය විසින් උපුටා දක්වා ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය නැවත සලකා බලමින් සිටින බව පැවසූ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා ව්‍යාපෘතියට ආවේණික පාරිසරික, හා නෛතික ගැටළු මෙන්ම, ගිවිසුම පිළිබඳ ගැටළු සලකා බැලීමෙන් පසු ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර