'රට තුළ රහස් කඳවුරු නැහැ' - අගමැති

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ මාස හයක් තුළ අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ආණ්ඩුවේ ‘දින සියයේ’ වැඩ සටහන පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සඳහා උතුරු පළාතේ දින තුනක සංචාරයක යෙදී සිටින අතරවාරයේ පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදීයි අගමැතිවරයා එම ප්‍රකාශය කළේ.

අද (27) උදෑසන සිය සංචාරය ආරම්භ කරමින් යාපනය නාග විහාරයේදී ආගමික වතාවත්වල නිරත වූ අගමැතිවරයා ඉන් අනතුරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී විය.

රහස් කඳවුරු

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් උතුරේ ජනතා නියෝජිතයකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා වර්තමානයේ රට තුල කිසිදු රහස් කඳවුරක් නැති බව අවධාරණය කළේය.

Image caption අගමැතිවරයාට ප්‍රශ්නයක්

අතුරුදහන්වූවන් පිලිබඳ පරීක්ෂණ අවසන් වූ වහාම ඒ සම්බන්ධයෙන් ගත හැකි අවසන් විසඳුම ගැන උතුරේ ජනතා නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට තමන් සුදානම් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

තව දුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා, ‘ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබා ගනිමින් සත්‍යය කොමිසමක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්’ සඳහන් කළේය.

ජාතික ක්‍රීඩා උළෙල

ජාතික ආණ්ඩු සංකල්පය හා නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන උතුරේ ජනතා නියෝජිතයන් දැනුවත් කිරීමට ද අගමැතිවරයා එම සාකච්ඡාවේ දී සිය අවධානය යොමු කළේය.

මී ළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ පැවැත්වීමට තීරණය කර ඇති බවත් අගමැතිවරයා ජනතා නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

Image caption මහජන නියෝජිතයන්

එම හමුවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික්කයේ කාන්තා, ගෘහ මූලික සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රශ්න, පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ගේ සුබ සාධන කටයුතු සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව එම එක් එක් ප්‍රජා කණ්ඩායම් හමු වී සාකච්ඡා කළ අතර, හෙට සහ අනිද්දා (28 සහ 29) ඔහු කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල දී තවත් හමුවීම් ගණනාවකට සහභාගී වීමට නියමිත බවයි අගමැති කාර්යාලය පවසන්නේ.

මහඇමති මග හැරීම

අගමැතිවරයාගේ උතුරු සංචාරයේ දී මුණ ගැසෙන පුද්ගලයන් හා සංචාරය කරන ස්ථාන පිළිබඳව අගමැති කාර්යාලය මගින් මාධ්‍යවේදීන්ට ලබා දී ඇති පත්‍රිකාවේ මහඇමැතිවරයා හමුවීමක් ගැන ගැන සඳහන් නොවෙයි.

පසුගිය මාසයේ රුපවාහිනී සාකච්ඡාවකට සහභාගී වූ අගමැතිවරයා කියා සිටියේ, ‘උතුරේ ජන සංහාරයක් සිදු වී ඇතැයි’ පවසමින් උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව ඉවත් කර ගන්නා තෙක් තමා මහ ඇමති විග්නේශ්වරන් හමු නොවන බවයි.

එහෙත් අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග හෙට (28)කිලිනොච්චියේ දී සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතයි.