ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලාංකීය සිනමා වියරණයේ සුවිශේෂී මිනිසා තිස්ස

තිස්ස අබේසේකරයන් ලබා සිටි එතෙර සහ මෙතෙර සම්භාව්‍ය සාහිත්‍ය පරිචය මෙන්ම අපගේ ජන සාහිත්‍ය කෙරෙහි ඔහු දැක්වූ නැඹුරුව සිනමාව, සිනමා සාහිත්‍ය සහ සිනමා වියරණය ඉගැන්වූ ඔහු සතු වූ සුවිශේෂත්වයක්.

අතිශය නව යෞවනයේදී භාරත සිනමාව දිග්විජය කළ සිනමාකරු සුදීර් මිශ්‍රාගේ චිත්‍රපටයක් ලොවට හඳුන්වා දීමට තිස්ස අබේසේකරයන්ට අවස්ථාව ලැබෙන්නේ ලන්ඩනයේදීයි.

සුදීර් මිශ්‍රාගේ දෙවන චිත්‍රපටය එක්දහස් නවසීය අසූ හය වසරේ ලන්ඩන් සිනමා උළෙලට ඉදිරිපත් කර තිබුණි.

‘ඒ චිත්‍රපටය හඳුන්වා දීමේ කාර්ය ඔහු මට පැවරුවා. ඒ චිත්‍රපටය රජයේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන යන සිනමා සංවර්ධන සංස්ථාවේ මුදලින් හදපු චිත්‍රපටයක්. බලන්න මේ චිත්‍රපටය රජයට සහ පවතින තත්වයට සම්පූර්ණයෙන් පහර ගැසීමක්’ තිස්ස අබේසේකරයන් විසින් සුදීර් මිශ්‍රා හමුව සිහිපත් කළ අයුරුයි ඒ.

පවතින රජයට පහර ගැසීමක් සිදු කරන එම චිත්‍රපටය එක්දහස් නවසීය අසූ හත වසරේදී අධ්‍යක්ෂණය සඳහා වූ ඉන්දිරා ගාන්ධි සම්මානය දිනා ගනියි.

‘රජය මුදල් දීලා තියෙන්නේ, රජයේ වියදමින් උප සිරස්තල දාලා, රජයේ වියදමින් මේ තරුණයාට ලන්ඩන් සිනමා උළෙලට සහභාගී වෙන්න සලස්වලා, රජයේ වියදමින් ප්‍රචාරයක් දීලා, අන්තිමට මම එනකොට ඔවුන් උත්සාහ කරමින් හිටියේ බ්‍රිතාන්‍ය රූපවාහිනියට මේ පිටපත කෙසේ හෝ විකුණා තවත් ප්‍රචාරයක් ලබා දීමයි’ තිස්ස අබේසේකරයන් පැවසුවේය.