ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්දට එරෙහි පෙත්සමක් ඉවතට

පසුගිය ජනාධිපතිවරණ සමයේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන සේ යුද හමුදාව සේවයට යෙදවීම තුළින් නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බාධා එල්ල වූ බව පවසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සම ගොනු කර තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින්.

ඉහත කී චෝදනා ඔප්පු කිරීමට පෙත්සම්කරු සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වූ බැවින් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ 'ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන සේ අසාමාන්‍ය ලෙස යුද හමුදාව සේවයට කැඳවීම තුලින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා එල්ල වූ' බවට නැගූ චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කර සිටියේය.

‘මේක තුල කිසිම නීති විරෝධී කටයුත්තක් සිදු වී නැහැ, රටේ ආරක්ෂාව තකා හිටපු ජනාධිපතිතුමා එම පියවර ගත් බව අපි පෙන්වා දුන්නා. එය පිළිගත් අධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළා’ නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේය.

ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාව සක්‍රිය සේවයට කැඳවීමට බලය පවතින බවත් ඔහු සඳහන් කළේය.

නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදාව කැඳවීමට බලය පවතින බවත් මැතිවරණ සමයකදී වුවද එම බලතල කිසිදු ආකාරයක කප්පාදුවකට ලක් නොවන බවයි.