දරුවන් සිය දිවි හානි කර ගන්නේ ඇයි?

Image copyright AFP

මනස ව්‍යාකූලත්වයට පත් වීම හේතුවෙන් විභාග අසමත් වූ දරුවන් සිය දිවි නසා ගැනීමට පෙලඹෙන බව විශේෂඥයෝ පේනවා දෙති.

විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග සිය දිවි නසා ගත් හෝ ගැනීමට තැත් කළ පාසල් දරුවන් පිළිබඳ ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව අසන්ට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ පැවසුවාය.

ආචාර්යවරිය එසේ කියා සිටියේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම හේතුවෙන් පුස්සැල්ලාව ප්‍රදේශයේ සිසුවියක් සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමත් තවත් හැටන් ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවට පළ වූ වාර්තා පිළිබඳ අදහස් දක්වමින්.

‘සිය දිවි නසා ගැනීම් මෙන්ම අපයෝජන සංසිද්ධීන් වාර්තා වෙලා තියනවා. ඒ ලෙවල් විභාගය තුළ ඒ වගේම පුංචි සිඟිත්තෝ පහ වසරේ ශිෂ්‍යත්වය හා ගත්තහම විශේෂයෙන් වාර්තා වන සංසිද්ධියක් තියනවා විභාගයත් එක්ක දරුවන් අපයෝජනයට ලක් වෙනවා. එහෙම නැත්තම් දරුවකුට අපරාධයක් වෙනවා’ ආචාර්ය අනූෂා එදිරිසිංහ සඳහන් කළාය.

Image copyright kln.ac.lk
Image caption අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ

මෙම තත්වය ශ්‍රී ලංකාව තුළ ප්‍රබල ගැට‍ළුවක් වශයෙන් නිර්මාණය වෙමින් තිබෙන බවයි ඇය කියා සිටියේ.

'බලපෑම්'

දරුවෙකුගේ මනස ව්‍යාකූලත්වයට පත් වීම සඳහා විවිධ හේතු බලපෑ හැකි බව පවසන ආචාර්ය අනූෂා එදිරිසිංහ ‘සමහරවිට දෙමව්පියන්ගේ බලපෑම වෙන්න පුළුවන්. සමාජයේ බලපෑම නිසා වෙන්න පුළුවන්. සමහර විට පාසල තුළින් එල්ල වන පීඩනයක් වෙන්න පුළුවන්. විවිධ සමාජ, ආර්ථික කාරණා තියෙන්නේ පුළුවන්’ යනුවෙන් සඳහන් කළාය.

විශේෂයෙන් අධ්‍යාපන සංස්ථාව තුළ පවතින තරඟකාරී ස්වභාවයත් සමග දරුවන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත් වන බවයි ඇය කියා සිටියේ.

‘දරා ගන්න බැරි විදිහට දරුවට අධ්‍යාපන වැඩ ලැබෙනවා. ඒ වගේම විභාගවලින් දරුවන්ට ප්‍රතිඵල ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තියනවා. ඒ සඳහා දෙමව්පියන්ගේ බල කිරීම් බලපෑම් තියනවා සමහරවිට ’ ආචාර්ය අනූෂා එදිරිසිංහ පැවසුවාය.

සිය දරුවා සමග අන්තර් ක්‍රියාකාරීත්වය පැවැත්වීම සඳහා දෙමව්පියන් විසින් දරුවාගේ මානසික ස්වභාවය

තේරුම් ගැනීම වැදගත් බවයි ඇය සඳහන් කළේ.

'යාලුවෙක් වගේ'

‘ඉතා සමීප සම්බන්ධතාවයක් දරුවෙක් එක්ක ගෙනිච්චා නම් දරුවෙකුට යාලුවෙක් වගේ, බොහෝ වෙලාවට දරුවෝ ප්‍රශ්නවලට පිළිතුරු විදිහට ජීවිතය නැති කර ගන්නේ නැහැ’ ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියාය.

තමා මුහුණ දී ඇති තත්වය පැහැදිලි කිරීමට දරුවන් උත්සාහ කරන නමුත් වර්තමානයේ දෙමව්පියන් හමුවේ ඇති කාර්යබහුලත්වය හේතුවෙන් දරුවන් සමග පවත්වන සම්බන්ධතාවේ දුර්වල බවක් පෙනෙන්න තිබෙන බවයි ඇය පවසා සිටියේ.

එමෙන්ම ගුරුවරයා සහ දරුවා අතර පවතින ලෙන්ගතුභාවය සහ සමීප සම්බන්ධතාවයද ඉතා වැදගත් වන බවත් ඇය සඳහන් කළාය.

‘ගුරුවරයා දරුවන් එක්ක දුරස් නොවී ඉතා සමීප සම්බන්ධතාවයක් ගෙනියනවා නම් දරුවෝ අතිශය විශ්වාසවන්ත පුද්ගලයා බවට ගුරුවරයා පත් කර ගන්නවා. ඒක නිසා දරුවගේ තියන සියලු ප්‍රශ්න ගුරුවරයාට ප්‍රකාශ කරන්න පුළුවන්’ ආචාර්යවරිය පැවසුවාය.

මානසික ව්‍යාකූලත්වයට පත් වූ දරුවන් තුළ බොහෝ විට හැසිරීමේ සහ කතාබහ කිරීමේ වෙනසක් දැක ගැනීමට හැකි බවත් ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය පමණට වඩා පොතපතේ සිටිනු දක්නට හැකි බවත් ඇය සඳහන් කළාය.

මානසික ව්‍යාකූලත්වයට ගොදුරු වූ දරුවන් මානසික උපදේශන සඳහා යොමු කළ යුතු බවත් ඒ සඳහා පාසලේ පහසුකම් නොමැති සිසු සිසුවියන් හට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම මානසික උපදේශන සේවා ලබා ගත හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ කථිකාචාරිනී ආචාර්ය අනුෂා එදිරිසිංහ වැඩිදුරත් කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර