සීගිරි ගී මත නම කුරුටු ගෑ ලියට සමාවක්

Image copyright AFP
Image caption දේශීය සහ විදේශීය සංචාරකයාගේ ආකර්ෂණය

කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ සිය නම ලිවීමේ වරදට අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදයා ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට තීන්දු කොට ඇත.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ගේ නිර්දේශයක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තරුණියට සමාව ප්‍රදානය කිරීමට පියවර ගත් බවයි සමාජ සේවා සුබසාදන සහ පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක බීබීසියට ප්‍රකාශ කළේ.

සින්නතම්බි උදයා සිය නොදැනුවත්කම නිසා සිදු කරන ලද වරදට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබීම ‘බරපතල දඬුවමකැයි’ පවසන නන්දිමිත්‍ර ඒකනායක රාජ්‍ය ඇමතිවරයාත් ඇයට සමාවක් දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පසුගියදා මහජන හමුවකදී ප්‍රකාශ කළේය.

සීගිරි කැටපත් පවුර ශ්‍රී ලංකාවේ ඓතිහාසික දායාදයක් වන අතර සීගිරි පැමිණි පැරණි රසිකයන් එහි ලියා ඇති මනරම් ගී නිර්මාණ හේතුවෙනුයි එය සුරක්ෂිත කළ යුතුව පවතින්නේ.

Image copyright Getty
Image caption ලෝක ප්‍රකට සීගිරි බිතු සිතුවම්

එහෙත් පසුගිය කාලයෙහි එහි පැමිණි ඇතැම් පුද්ගලයන් සීගිරි ගී මත ඔවුන්ගේ නම් ගම් කුරුටු ගෑමෙන් බලවත් හානියක් සිදුව ඇත.

සීගිරි කැටපත් පවුර රැක ගැනීම සඳහා වීදුරු ආවරණයක් ඉදි කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය දැන් යොමුව ඇත.