උදය ශ්‍රී නිදහස් කිරීම සම්බන්ධයෙන් මවගේ ප්‍රණාමය

Image copyright Sinnathambi Thavamani
Image caption සින්නතම්බි තවමනි පවුලේ සාමාජිකයන් සමඟ

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් සිය නම කුරුටු ගෑමේ වරද සම්බන්ධයෙන් අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදය ශ්‍රී ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරනු ලැබීම සම්බන්ධයෙන් ඇගේ මව වන සින්නතම්බි තවමනි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තුති පුද කළාය.

තම දියණිය බැලීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමා නිදහස් කර ගන්නා මෙන් ඉල්ලමින් සිය දියණිය අඬා වැටුන බවයි සින්නතම්බි තවමනි බීබීසී සංදේශයට කියා සිටියේ.

එම අවස්ථාවේ තමා ද සිය දියණිය සමඟ හඬන ලද බවත් ඇය ප්‍රකාශ කළාය.

‘ජනාධිපති සමාව ගැන දැන ගත්තම ලොකු සැනසීමක් ඇති වුනා. දුව ගෙදර ආවම තමයි ඒ සැනසීම අංග සම්පූර්ණ වෙන්නේ’ සින්නතම්බි තව්මනි ප්‍රකාශ කළාය.

මඩකලපුවේ සිත්තන්ඩි ග්‍රාමයේ පදිංචි විසිහත් හැවිරිදි සින්නතම්බි උදය ශ්‍රී තවත් කණ්ඩායමක් සමඟ විනෝද චාරිකාවක යෙදී සිටියදී ඓතිහාසික සීගිරිය බැලීමට ගිය අවස්ථාවේ නොදැනුවත් කමින් කැටපත් පවුරේ සිය නම ලියූ බවයි පවසන්නේ.

සිංහල සහ ඉංග්‍රීසි නම්

Image copyright Sinnathambi Udayashree
Image caption සින්නතම්බි උදය ශ්‍රී

එම වරද කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අධිකරණය ඉදිරියේ ඇයට එරෙහිව නඩුවක් පැවරුණ අතර එහිදී ඇයට දෑවුරුදු සිර දඬුවමක් නියම විය.

එහෙත් ඇය නොදැනුවත් කමින් කළ වරදට සමාවක් දිය යුතුව ඇති බව ජාති වර්ග හෝ ආගම් භේදයෙන් තොරව බොහෝ කණ්ඩායම් පෙන්වා දුන්හ.

සින්නතම්බි උදය ශ්‍රී සමඟ සීගිරි ගොස් ඇය කැටපත් පවුරේ නම කුරුටු ගාද්දී ඒ ළඟම සිටි තවත් තරුණියක් බීබීසියට අදහස් දක්වමින්, එවැනි තහනමක් ගැන කිසිසේත්ම දැන නොසිටි බවත් කිසිවකු එවැනි තහංචියක් පිළිබඳව ඔවුන්ට දැනුම් නොදුන් බවත් කියා සිටියාය.

එසේම කැටපත් පවුරේ සිංහල සහ ඉංග්‍රීසියෙන් වෙනත් නම් ලියා තිබෙනු දුටු බවත් එම තරුණිය සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර