ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආයෝජන සමාගම් තිස් පහක් යළි අධීක්ෂණයට

පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද ආයෝජන ව්‍යාපෘතීන් තිස් පහක් (35) යළි අධීක්ෂණයට ලක් කරන මෙන් ආණ්ඩුව නියෝග කර ඇත.

මහාමාර්ග,උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ එකී ව්‍යාපෘතීන් තරඟකාරී මිල ගණන් යටතේ විධිමත් ටෙන්ඩර් පටිපාටියක් යටතේ ආරම්භ නොකර තිබීම එවැනි ඒවා යළි අධීක්ෂණය කරනු ලැබීමට හේතු වී ඇති බවයි.

‘පසුගිය රජය තරඟකාරී පටිපාටියකින් තොරවයි එක් එක් ව්‍යාපෘතීන් ආරම්භ කර තිබෙන්නේ. එම පාලනය ඉල්ලුමක් නැතිව ආයෝජන යෝජනා කරන්නට ඉඩ දුන්නා. තරඟකාරීත්වයක් නැතිවිට මිල පිළිබඳව විශාල ගැටළුවක් මතු වෙනවා. විශේෂ ගැටලුව පවතින්නේ මිල පිළිබඳවයි. මිල අධික නම් විශාල දූෂණයක් සිදු වුනා කියල අපට නිගමනය කරන්න පුළුවන්’ ඇමතිවරයා පෙන්වා දෙයි.

Image copyright defence.lk
Image caption කොළඹ වරාය නගරය ; මත භේදයට ලක්ව ඇති එක් ව්‍යාපෘතියක්.

ඉහත කී පරිදි අධීක්ෂණයට ලක් කෙරෙන ව්‍යාපෘතීන්ගෙන් අති බහුතරය චීන සමාගම් සතු ඒවා වන බවත් පැවසෙයි.

බහුතරය චීන සමාගම්

ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මාධ්‍යයට කියා තිබුණේ යළි අධීක්ෂණය කෙරෙන සමාගම්වලින් විසි අටක්ම චීන සමාගම් වන බවයි.

තරඟකාරී පටිපාටියෙන් තොරව අවස්ථා දෙන විට බොහෝ ජාත්‍යන්තර සමාගම් ඉදිරිපත් නොවූ බව පවසන මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න එහෙත් චීන සමාගම් එම අවස්ථා ලබාගත් බවයි සඳහන් කළේ.

‘එවැනි ව්‍යාපෘතීන් සඳහා තරඟකාරී පදනමක් යටතේ අවස්ථා ලබා දිය යුතුය’ යන්න එසේ ඉදිරිපත් නොවූ සමාගම්වල විශ්වාසය වන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

එසේම චීන සමාගම් පැමිණියේ චීන බැංකුවලින් ලබාගත් මුදල් සමඟ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ජනතාවට පැටවෙන බර

‘ඉතින් අපි ව්‍යාපෘතියටත් ගෙව්වා. ඒ වගේම දීර්ඝ කාලීන ණය ලබා ගත්තා. සමහර ව්‍යාපෘතීන් සඳහා අපට දීර්ඝ කාලීනව ණය ගෙවන්න සිදු වෙනවා’ නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න විග්‍රහ කරයි.

Image copyright Reuters
Image caption කොළඹ වරාය නගරයේ ඉදි කිරීම්.

‘හුඟක් වෙලාවට රජය යොමු වුනේ ආකෘතීන් ඉක්මනට ගොඩ නගන්නටයි. ඒකෙන් දූෂණයට වාසි තියෙනවා. දූෂිතයෝ මුදල් ලබා ගන්නවා. ඒවාට ගෙවීම් කරන්න වෙන්නේ පස්සේ. ඒ තත්වය යටතේ බදු ගෙවන ජනතාවට අවුරුදු ගණනාවක්ම ඔය ව්‍යාපෘතිවලට ගෙවන්න සිද්ධ වෙනවා’ මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පැහැදිලි කරයි.

මෙම දූෂණ අපචාර සිදුව ඇත්තේ ඒවාට සම්බන්ධ පිටරට සමාගම් සහ අපේ රටේ නිලධාරීන් හා දේශපාලනඥයන් අතර බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියි.