ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මහින්ද බලයට ගේන්නේ ජනාධිපති කරන්න නොවෙයි'

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වශයෙන්’ විදේශ ප්‍රතිපත්ති දෙකක් පවතින බව ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ආසියාතික රටවලට සමීප වූ විදේශ ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයා අනුගමනය කරද්දී ‘අන්ත බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් කරා අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

'මහින්දගේ දෙවන භාගය'

නොබැඳි පිළිවෙතකට යන බව පවසා ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවත් අගමැතිවරයා හෝ විදේශ ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කර නැති බවත් බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී ආචාර්ය දයාන් ජයතිලක තවදුරටත් පැවසීය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සමයේ පළමු භාගයේ විදේශ ප්‍රතිපත්තිය සාර්ථක වූ නමුත් දෙවන භාගය තුළ දී එය බිඳී විසිරී ගිය බවද ඔහු කියා සිටියේය. හඬ පටය අමුණා ඇත.

'මගේ සූත්‍රය'

කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ යළි බලයට ගෙන ඒමට තමා උත්සාහ කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති බවට පත් කිරීමට මිස යළි ජනාධිපතිවරයා කිරීමට නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

‘හිටපු ජනාධිපතිවරයාව මම යළි බලයට ගේන්න හදන්නේ ආපහු ජනාධිපති කරවන්න නෙමෙයි නේ, මම මේ ජනාධිපති ක්‍රමයේ බලතල අගමැතිවරයෙකුට ලබා දෙනවට විරුද්ධයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය අගමැතිවරයා කරන්න මෛත්‍රිපාල ජනාධිපති තුමා යටතේ. ඒ සූත්‍රය තමයි මම ඉදිරිපත් කරන්නේ. ආපහු ජනාධිපති කරන්න නෙමෙයි.’ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.