ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සී ෂෙල්ස් ගිය මුදල් සොයන්න කමිටුවක් -රවි

පසුගිය ආණ්ඩුව සමයේ සී ෂෙල්ස් රාජ්‍යය හරහා වෙනත් රටවලට ගෙන ගිය බව පැවසෙන ජාතික ධනය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

සී ෂෙල්ස් රාජ්‍යයේ පවතින ලිහිල් බදු ක්‍රමය උපයෝගී කර ගනිමින් ඇතැම් බලවතුන් සිය මූල්‍ය වත්කම් සී ෂෙල්ස් මූල්‍ය ආයතන හරහා වෙනත් රටවලට ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලාංකිකයන් ඉතා අඩු පිරිසක් වෙසෙන සී ෂෙල්ස් රාජ්‍යය තුළ ලාංකික බැංකු ශාඛාවක් පිහිටුවීමට හේතු වූ කාරනා සොයා බැලිය යුතු බවද බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී මුදල් ඇමති රවි කරුණානායක ප්‍රකාශ කළේය.

‘මාධ්‍ය සංදර්ශනයක්’

‘ලංකා බැංකුව ලංකාවේ අනෙක් කොන්වලට ගිහින් ශාඛා අරින්නේ නැතුව ශ්‍රී ලාංකිකයන් හතළිස් හය දෙනෙක් විතරක් ඉන්න සී ෂෙල්ස් රටට ගිහිල්ල මේ අය ශාඛා අරිනවා. මේ පිළිබඳව අක්‍රමිකතා සිදු වෙලා තියෙනවා. ඒ නිසා ඒවා සොයා බලා අපිට වාර්තාවක් ලබා ගැනීමට අපි කොමිටියක් පත් කළා.’ ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

දිගින් දිගටම මෙවැනි චෝදනා ඉදිරිපත් කරන නමුත් ඒවා ඔප්පු කිරීමට නව රජය අපොහොසත් වී ඇති බවත් මෙය ‘මාධ්‍ය සංදර්ශනයක්’ පමණක් බවට විපක්ෂය චෝදනා කරන බවත් බීබීසීය මුදල් ඇමතිවරයාට පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයා කියා සිටියේ වැඩි කල් ගත වීමට පෙර සියල්ල හෙළිදරව් වනු ඇති බවයි.