සංශෝධනය සම්මත 'වුනත් නැතත් වාසිය එජාපයට'

Image copyright Amal Jayasinghe
Image caption ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වූවත්, නොවූවත් එක්සත් ජාතික පක්ෂය එහි වාසිය ලබා ගන්නා බව ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් නොමැති අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙමින්.

‘මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයට මේක කර ගන්න බැරි වුනොත් ඔවුන් නිදහසට කරුණක් විදිහට කියන්න ඉදිරිපත් වෙන්නේ තමන් ඉෂ්ට කර ගන්න ගිය කාර්යයට විපක්ෂයෙන් සහාය නොලැබුණු බව. ඒ නිසා ක්ෂණිකව මැතිවරණයක් පවත්වලා ජනතාවගෙන් අලුත් වරමක් ඉල්ලීම තමයි ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ’ අමල් ජයසිංහ පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇත්තටම කියා සිටියා ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති වුනා නම් ඔවුනුත් මේ සංශෝධන, ප්‍රතිසංස්කරණ කරන්න යොමු වෙනවා කියලා’ ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂවල මතය වූ බවයි ඔහු කියා සිටියේ.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ස්ථාවරය තවමත් හරිහැටි පැහැදිලි වී නැති බවද බව ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ වැඩිදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර