ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'විපක්‍ෂ නායක ආණ්ඩුවේ නියෝජිතයාද?'

වත්මන් විපක්‍ෂ නායකයා ‘විපක්‍ෂයේ නියෝජිතයාද නැතහොත් ආණ්ඩුවේ නියෝජිතයාද’ යන ප්‍රශ්නය පැන නැගී ඇති බව හිටපු අමාත්‍ය ටී බී ඒකනායක පවසයි.

ඇතැම් අවස්ථාවාවලදී විපක්ෂ නායකයා සිදු කරන්නේ විපක්ෂයේ කාර්ය භාරය නොවන බවයි ඔහු බීබීසීයට කියා සිටියේ.

‘දැන් මේ ළඟදී වර්තමාන ජනාධිපතිතුමා එක්ක ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සාකච්ඡාවක් තිබුණ වෙලාවේ, සංවර්ධන කටයුතු නැවතිලා තියෙනවා... ඒවාට මුදල් ලැබෙන්නේ නැහැ... යන කාරනා මතු වෙද්දී විපක්‍ෂ නායකයා තමයි ඒකට උත්තර දෙන්නේ, නැහැ නැහැ ඒවාට මුදල් හම්බ වෙනවා, ඒ ගැන ප්‍රශ්නයක් නැහැ කියල. එතකොට දැන් විපක්‍ෂ නායකයා ආණ්ඩුවේ නියෝජිතයාද විපක්‍ෂයේ නියෝජිතයාද කියන ප්‍රශ්නෙ පැන නැගුනා.’ හිටපු අමාත්‍ය ටී බී ඒකනායක පැවසීය.

'අත්සන් රැසක්'

විපක්ෂ නායක ධූරය සඳහා දිනේෂ් ගුණවර්ධන පත් කරන ලෙස ඉල්ලා කතානායක වරයාට භාර දුන් ලියවිල්ලට බන්ධුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන සහ තමා ඇතුළු මන්ත්‍රීවරු රැසක් අත්සන් තබා ඇති බවද ටී බී ඒකනායක මන්ත්‍රීවරයා බීබීසීයට හෙළි කළේය.

විපක්‍ෂ කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවේ ‘වරදාන’ ලබා ගත් මන්ත්‍රීවරුන් පැමිණ සිටි අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් ද යන ප්‍රශ්නය මතු වූ බවද ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

දිනේෂ් ගුණවර්ධන විපක්‍ෂ නායක ධුරයට ගෙන ඒම තුළ මහින්ද රාජපක්‍ෂ නැවත බලයට ගෙන ඒමේ යටි අරමුණක් ඇතැයි යන චෝදනාව හිටපු ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.