ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (09 ) කතානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුණි.

කථානායකවරයා කියා සිටියේ එහි සඳහන් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි.

ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු යයි නිර්දේශ කරනු ලැබ ඇති වගන්ති ඉවත් කිරීමට රජය කටයුතු කරන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

ඒ අනුව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් ඇමතිවරුන්ට භාර විෂයයන් වෙන් කිරීමට අගමැතිවරයාට බලය දීමට කළ යෝජනාව ඇතුළු තවත් යෝජනා අටක් ඉවත් කර ගැනීමට රජයට සිදු වන බවයි වාර්තා වන්නේ.

අද පාර්ලිමේන්තුවේ දී 19 වන සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් හිටපු විදේශ අමාත්‍ය ජි.එල් පීරිස් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි.

ජනපති බලතල අඩු කිරීම

විවිධ සංශෝධන ගෙන ඒමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යාකූල තත්වයකට පත් කොට ඇති බවට සහ ඒවා අධ්‍යයනය කිරීමට කල් වේලා නැති බවට එල්ල වෙන චෝදනා වලට අගමැති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පැවසුවේ, තාක්ෂණික ගැට‍ළු මතු කරමින් මෙම සංශෝධනයේ හරය යටපත් කිරීමට ක්‍රියා නොකළ යුතු බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ පවතින පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට ජනවරමක් නොමැති බවයි.

පසුගිය රජය දිනකින් සම්මත කළ 18 වන සංශෝධනයට වඩා වැඩි කාලයක් මෙම සංශෝධනය අධ්‍යයනය කිරීමට වර්තමාන රජය කල් ලබා දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර