ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘කැසිනෝවට, 18ට අත උස්සපු පූස් පැටව් 19ටත් ඕනෑ’

කැසිනෝ පනතට සහ දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා අත එසැවූ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල් කාරී සහ විනාශකාරී ලෙස හැසිරෙමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ.

‘18 වැනි සංශෝධනය වැනි අතිශය විනාශකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයන් සම්මත කර ගැනීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පූස් පැටව් වගේ හිටිය. කැසිනෝ පනත, ශිරානි බණ්ඩාරනායක නෙරපා හැරීමේ යෝජනාව වැනි කරුණුවලට අත එසවීමේදී ඔවුන් හීලෑ සතුන් වගේ තමයි හැසිරුනේ. නමුත් රටට හිතකර සම්ප්‍රදායක් සම්මත කර ගැනීමේදී විවිධ බාධා ඇති කරමින් සිටිනවා. ඒ නිසා 18ට අත ඔසවපු, කැසිනෝ පනතට අත ඔසවපු, ශිරානි නෙරපන්න අත ඔසවපු අයගේ ඡන්දයෙන් තමයි මේක සම්මත කර ගන්න හැකි වන්නේ.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ ඔහු පැවසීය.

කෝඳුරු තෙල් හත් පට්ටය

මැතිවරණ ක්‍රමයට මුවා වී මෙම ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමේ ප්‍රයත්නයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෙදී සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් කියා සිටියේ. හඬ පටය අමුණා ඇත.

‘දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ වසර එකොළහක මැතිවරණ තේරීම් කාරක සභාවක් තිබුනා. එහිදීත් සියලුම පක්ෂවලට එකඟතාවකට එන්න හැකි වුනේ නැහැ. මැතිවරණ කොමසාරිස් වාරයත් පැහැදිලිවම කියල තිබුනා ලෝකයේ කොහෙවත් මැතිවරණ ක්‍රමය වෙනස් කළ පසු අවුරුද්දක් යන තුරු මැතිවරණයක් පවත්වල නැහැ කියල.’

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ උත්සාහ කරන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ දකින දකින ඒකට මුවා වෙන්න උත්සහයක් දරන එක හැරුණු කොට ඇත්ත උවමනාවක් දරන බව අපට පෙනෙන්නේ නැහැ.’ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් ඇති වී තිබෙන බවත් විපක්ෂ නායකයාට තම සාමාජිකයන් අතර සිය අණසක පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.