19 සම්මත කර ගත හැකියි -අධිකරණ ඇමති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 75 දෙනෙකු පමණ එහි නායකත්වය සමග සිටින නිසා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන විසි එක් වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කලේ 19 වන සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී.

ඉතිහාසයේ සිදු වු වැරදී නිවැරදි කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සදහා ගෙන එන 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන ලෙස සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අද රජය ඉල්ලා සිටියේය.

රජය වෙනුවෙන් එම ඉල්ලීම කළ ආමාත්‍ය විජේදාස රාජපක්ෂ 19 වන සංශෝධනයට සහය දිම ජනතාවාදී ක්‍රියාවක් ලෙසයි හැදින්වුයේ.

"සැඟවුණු න්‍යාය පත්‍ර නැහැ, සංශෝධන කරාට පස්සේ අපිට බලය ලැබුනද නැත්ද කියන එක දෙවනුව කාරණයක්, අපිට ඕනේ කවුරු බලයට ආවත් මේ ක්‍රමවේදය සකස් කරන්න. හෘද සාක්ෂියට එකඟව මේ රටේ කාටවත් මේකට එකඟ නොවී ඉන්න බැහැ" ඔහු පැවසීය. මෙවැනි ජනතා හිතවාදී සංශෝධනයක් සඳහා විරුද්ධ වන්නන් දේශපාලනයේ තබා ගන්නේදැයි තීරණයක් ගත යුත්තේ ජනතාව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

"පසුගිය කාලේ අධිකරණ තීන්දු කීයක් හිටපු ජනාධිපතිතුමා කුණු කුඩේට දැම්මද?, අධිකරණය අපේ කරුණු ගණනාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා, අපි ඒ තීරණයට හිස නමලා කටයුතු කරනවා" අධිකරණ ඇමතිවරයා පැවසීය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ දී මැතිවරණ කොට්ඨාශයට වග කියන මන්ත්‍රීවරයෙක් සිටිය යුතු බව සහ කේවල ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට මිශ්‍ර ක්‍රමයක් ඇති කළ යුතු බවට ප්‍රධාන පක්ෂ 2 පිළිගෙන තිබෙන බව පැවසූ අමාත්‍යවරයා කුඩා පක්ෂ ඊට එකඟ කර ගැනීමට තවදුරටත් සාකච්ඡා සිදු වන බවයි පැවසුවේ.

"මේක ස්ථාපිත කරන්න වසරක් යනවා කියලා මැතිවරණ කොමසාරිස් තුමා කියනවා, අපි ලෑස්තියි ඒ වැඩකටයුතු ආරම්භ කරන්න පනතක් සම්මත කර ගන්න" ඔහු කියා සිටියේය.

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ජනවරමක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර