‘ශ්‍රීලනිප මාල ගිරව් සහ බකමූණන්’

Image copyright cultural.gov.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තමන් නෙරපා හරිනු ලැබීම ඉවත් කර ගනු ලැබුනත් කිසිදු කොන්දේසියකට යටත් නොවන බව හිටපු සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක කියා සිටියේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා හැටියට පෙරට ගෙන එනු ලැබීම සඳහා ඉදිරි කාලයෙහි සංවිධානය කෙරෙන රැස්වීම් වලට සහභාගී නොවන මෙන් කොන්දේසියක් පනවනු ලැබුනොත් තමා ඇතුළු ඉවත් කෙරුණ මධ්‍යම කාරක සභිකයන් ඊට යටත් නොවන බවයි.

‘අපි කොන්දේසිවලට යටත් වන්නේ නැහැ. අපි ඒ විධියට දේශපාලනය කරන අය නොවෙයි. අපි ජනතාවත් සමඟ දේශපාලනය කරන්නේ කොන්දේසි වලට යටත්ව නොවෙයි’ හිටපු ඇමතිවරයා පවසයි.

නීතිමය පියවර

තමන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරනු ලැබීමට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නේදැයි බීබීසිය විමසූ විට ඔහු සඳහන් කළේ, තහනම ඉවත් කර ගැනීමට පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා කටයුතු කරන බවක් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහනුවර දී දැනුම් දුන් බවයි.

එවැනි පසුබිමක් යටතේ නීතිමය ක්‍රියා මාර්ගයකට යාමේ තත්වයක් නොමැති බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක, තමන්ට එරෙහි තහනම ඉවත් කර ගනු ලැබුණේ නැත්නම් පමණක් නෛතික පියවර ගන්නා බවයි කියා සිටියේ.

කෙසේ වුවද තමන් පක්ෂ විනය උල්ලංඝනය නොකළ බව කියා සිටි මන්ත්‍රීවරයා තම කණ්ඩායමේ ප්‍රයත්නය වුනේ පක්ෂ සමඟිය බවත් පවසයි.

රත්නපුර රැස්වීම

‘අපේ අන්තිම රැස්වීම පැවැත්වුනේ රත්නපුරයේ. එම වේදිකාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසිහත් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් නැංගා. අපි හතර දෙනා පමණක් නොවෙයි’ ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඉවත් කෙරුණ සභිකයන් වෙනුවට අලුත් සාමාජිකයන් හතර දෙනකු මධ්‍යම කාරක සභාවට පත් කර තිබෙනවාදැයි බීබීසිය ප්‍රශ්න කළ විට මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි පත් කිරීම් නීත්‍යානුකූල නොවන බවයි.

එය ආරංචියක් පමණක් යයි සඳහන් කළ මන්ත්‍රීවරයා ‘මාල ගිරවුන් හතර දෙනකු ඉවත් කර බකමූණන් හතර දෙනකු පත් කරනු ලැබීමක්’ ගැන තමන් අදහස් පළ කළ බවත් කියා සිටියේය.