ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව: 'මට දන්වා නෑ'

Image copyright nandimithraekanayake.com
Image caption "ලිඛිතව තාම මට දැනුම්දීල නැහැ. පුවත්පත්වල නම් දැක්ක. කිසිසේත්ම එහෙම ඇඟවීමක් කරලා නෑ"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කරන ලද බවක් තමන්ට තවමත් දැනුම් දී නැතැයි සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පවසයි.

"ලිඛිතව තාම මට දැනුම්දීල නැහැ. පුවත්පත්වල නම් දැක්ක. කිසිසේත්ම එහෙම ඇඟවීමක් කරලා නෑ," අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

අලුත් අවුරුදු දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරන වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් කොට තිබෙන බව සඳහන් කොට තිබුණි.

ඒ පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය රණතුංග ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

අර්ජුන රණතුංග

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න සෝලංගආරච්චි, එදිරිවීර වීරවර්ධන පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නන්දිමිත්‍ර ඒකනායක අමාත්‍යවරයාද මධ්‍යම කාරක සභාවට පත් කොට ඇති බවයි, පසිගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කොට තිබුනේ.

එහෙත් එවැන්නක් පිළිබඳව තමන්ට මෙතෙක් කිසිදු ඇඟවීමක්වත් සිදු වී නැති බවයි, නන්දිමිත්‍ර ඒකනායක අමාත්‍යවරයා පවසන්නේ.

හිටපු අමාත්‍යවරුන් පස් දෙනකු මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම පිළිබඳව සිය මනාපයක් නැති බව පවසන ඔහු, ඔවුන් සියලු දෙනාම පක්ෂය වෙනුවෙන් විශාල මෙහෙයක් කරන ලද පුද්ගලයන් බවත් සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂය පාලනය කරගැනීමට නොහැකි බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හඳුන්වා දෙන්නේ 'දඩබ්බර නැතිව' කටයුතු කිරීමට උත්සාහ දරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙසින්.

"එතුමා ඉතාමත් සූක්ෂම විදියට, දක්ෂ විදියට ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න ඕන විදියට වැඩකටයුතු කරනවා."