ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රීලනිප යෝජනාව ප්‍රතික්ෂේප කරනවා - සුළු පක්ෂ

මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට විරුද්ධ නැති නමුත්, සමානුපාතික ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමේ කිසිදු යෝජනාවකට සහාය නොදීමට තීන්දු කළ බව සුළු පක්ෂ සහ සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ පවසති.

ශ්‍රී ලංකාවේ සියලුම සුළු පක්ෂවල සහ සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් කොළඹට රැස් වී ඉරිදා පැවැත්වූ 'ඉතිහාස ගතවන' රැස්වීමකදී මෙම තීන්දුවට එළැඹි බවයි, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් බීබීසී සංදේශයට කියා සිටියේ.

දැනට පවතින සමානුපාතික ක්‍රමය ශ්‍රී ලංකාවේ සුළු ජනකොටස්වලට වැඩියෙන් නියෝජන අවස්ථා සැලසුණු සාධාරණ ක්‍රමයක් බවයි, ඔහු අවධාරණය කරන්නේ.

'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය'

සෑම ජනකොටසකටම අවස්ථා විවරවීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව පෙන්වා දෙන මනෝ ගනේෂන්, කෙසේ නමුත් එම ක්‍රමයේද අඩුපාඩු තිබෙන බව තමන් පිළිගන්නා බවත් සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"මේ අඩුපාඩු හදාගන්න අපි කැමතියි. ඒත් ඒ සම්බන්ධව අපිත් එක්ක, සුළු පක්ෂ එක්ක සාකච්ඡාවක් පවතින්න ඕන," ඔහු පැවසීය.

කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ ආසන 165ක්ද, සමානුපාතික ක්‍රමය යටතේ ආසන 60 ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි විසිපහකින් සමන්විත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වයකට පැමිණි බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දා බිබිසීයට ප්‍රකාශ කළේය.

එහෙත් එම යෝජනාවට සියලු සුළු පක්ෂ සම්පූර්ණයෙන්ම විරුද්ධ බවයි, මනෝ ගනේෂන් අවධාරණය කරන්නේ.

"ඒකට එකඟ වෙන්න බැහැ. මොකද සමානුපාත ක්‍රමය යටතේ වැඩිම මන්ත්‍රී පිරිස අපිට අවශ්‍යයි. ඉස්සෙල්ල යෝජනා වෙලා තිබුණු 80 ගැන නම් සලකා බලන්න පුළුවන්. මේ 60 නම් කවදාවත් සලකා බලන්න බෑ. අපි ප්‍රතික්ෂේප කරනවා ඒක."

දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ලංකා කම්කරු කොන්ග්‍රසය, ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සුළු පක්ෂ සහ සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ සමුළුවට සහභාගි වී සිටි බවද මනෝ ගනේෂන් සඳහන් කළේය.

අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව විනා එම ක්‍රමය යටතේ මෙවර මැතිවරණය පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු ප්‍රතිඥාවක් දී නැති බව පවසන ඔහු, නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රථම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවද සංදේශයට පැවසීය.