sri  lanka parliament
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පුළුවන්නම් මහින්ද අල්ලස් කොමිසමට ගෙනියන්න'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවෝ සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් එක් වී සිටියහ.

පාර්ලිමේන්තු වටරවුමෙන් ආරම්භ වූ මෙම විරෝධතාව පාර්ලිමේන්තු පාරට පැමිණෙනවාත් සමගම පොලිසිය විරෝධතාකරුවන්ට දැන් වූයේ අධි ආරක්‍ෂිත කලාපයක් වන පාර්ලිමේන්තු භූමියට ඇතුළත් නොවන ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවයි.

පොලිසිය විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගය පෙන්වූ නමුත් ඔවුන් එය නොතකා පාර්ලිමේන්තුව දෙසට ගමන් ආරම්භ කළහ.

පාර්ලිමේන්තුවට මීටර් 100ක් තිබියදී පොලිස් මාර්ග බාධක යොදා ඔවුන් නැවැත්වීමට පොලිසිය කටයුතු කළේය.

එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

පොලිසිය අධිකරණය නොමග යවා නියෝගයක් ලබාගෙන ඇති බවයි ඒ පිළිබඳ අදහස් දැක්වූ උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැය පහන් කර තිබේ.

ඔවුන්ට අවශ්‍ය ආහාර පාන හා වෛද්‍ය පහසුකම් සඳහා පාර්ලිමේන්තුවේ භෝජනාගාරය හා වෛද්‍ය සේවාව ඊයේ(20) රාත්‍රියේ විවෘත කර තැබීමටද පාර්ලිමේන්තු බලධාරීන් කටයුතු යොදා තිබුණි.

අද (21) උදෑසන සභාවාරය අරම්භ කිරීමට සුදානම් වන අවස්ථාවේ කථානායක චමල් රාජපක්ෂ කළ ඉල්ලීමක් පිළිගනිමින් විරෝධතාවට එක් වූ මන්ත්‍රීවරු සිය අසුන් වල හිඳ ගත්හ.

අල්ලස් කොමිසම

ඉන් අනතුරුව අදහස් දැක්වූ කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ පරීක්ෂණයක් ඇරඹීමට පෙර අල්ලස් කොමිසම කල් තියා තමාට දැන්විය යුතු බවයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එහි සභාපතිවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට නොදන්වා හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්න කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අගමැති රනිල් වික්‍රමසිංහ තම කතාව ආරම්භ කිරීමත් සමගම සභාවේ දැඩි ඝෝෂාකාරී තත්වයක් ඇති විය.

සභාව කිහිපවරක්ම කල් තැබීමට කථානායකවරයාට සිදු වූයේ පැවති උණුසුම්කාරී තත්වයන් හේතුවෙන්.

ජනරාල්වරියට එරෙහිව යෝජනාවක්

නැවත සභාව ආරම්භ වූ විට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගී සිටිමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට විපක්ෂය සුදානම් වන බවයි.

කතානායක චමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදු කරමින් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවනවා වෙනුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් එම ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යවරයා තමන්ට දැනුම් දුන් බවයි.

පසුව නැවත සභාව කල් තැබූ අතර ඉන් පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි.

එහිදී තීරණය වූයේ පාර්ලිමේන්තු සභාව 27 වනදා තෙක් කල් තැබීමටයි.