රවිරාජ් ඝාතනය: 'DNA සාම්පල ලබා ගන්නවා'

Image copyright AFP
Image caption නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා 2006 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදා කොළඹදී වෙඩි තබා ඝාතනය ඝාතනය කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ රුධිර සාම්පල ලබාගෙන DNA පරීක්ෂණයක් සඳහා යොමු කොට ඇති බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවියේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සොයා ගෙන ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ රහස් පොලිසිය එම රුධිර සාම්පල සැකකරුවන්ගේ රුධිර සාම්පල හා සැසඳෙන්නේ දැයි යන්න සනාථ කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි කියා සිටියේ.

අදාළ පරික්ෂාව සිදු කිරීම සඳහා සැකකරුවන්ගෙන් ලබා ගත් ලේ සාම්පල පරීක්ෂණ ආයතනයකට යොමු කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට ලක් වූ අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපති සමග යාපනයට ගොස් සිටි බවත් තමන් මෙම ඝාතනයට සම්බන්ධ නොමැති බවත් සැකකාර නාවික නිලධාරියන් සිව් දෙනා ප්‍රකාශ කොට තිබිණි.

එහෙත් රහස් පොලිසිය සඳහන් කළේ එවැන්නක් සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කරන මෙන් පොලිසියට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර