‘19 සංශෝධනයට බාධා කරන්නේ මහින්ද රාජපක්ෂ’- අජිත් පෙරේරා

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රටේ සියළුම දේශපාලකයන්ගේ බලය අඩු කර රාජ්‍ය සේවකයන් විසින් රට පාලනය කරනු ලබන තත්වයක් ඇති කිරීම සඳහා ගෙන එන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සාහ කරන බවට රජය චෝදනා කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 27 හා 28 වන දින විවාදයට ගැනීමට නියමිත අතර එය සම්මත කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව එය වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් උත්සාහ ගන්නා නමුත් එම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ‘අලි බබා සහ හොරු හතළිහ’ ඊට විවිධ බාධා එල්ල කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

අලි බබා සහ හොරු හතළිහ

ලබන අඟහරුවාදා සවස් වන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුනොත් වත්මන් ආණ්ඩුවට පැවැත්මක් නොමැති බව පෙන්වා දුන් අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා, එවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදු වනු ඇති බවයි කියා සිටියේ.

‘19 වැනි සංශෝධනය සම්මත කර ගන්න බැරි වුනොත් මූලික පරමාර්ථ ඉටුකර ගන්න බැරි ආණ්ඩුවක් තවදුරටත් පවත්වා ගෙන යාම දුෂ්කර නිසා මේ ආණ්ඩුව විසුරුවා හැරීමට සිදු වෙනවා’ විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව අනුව ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට ඔහුට හැකි වනු ඇත යන්න තම විශ්වාසය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ‘එසේ නොවුනොත් එය රටේ අවාසනාවක්’ බවයි පෙන්වා දුන්නේ.

‘මෙය යූඑන්පී , ශ්‍රී ලංකා, ජේවීපී ප්‍රශ්නයක් නෙවෙයි. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න බැරි වුනොත් එය මුළු රටේ ම කනගාටුවට කාරණාවක් වෙනවා, මෙච්චර වැදගත් විප්ලවයකින් පස්සේ මේ ටික කර ගන්න බැරි වුනා කියලා’ නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා වැඩි දුරටත් සඳහන් කළේය.