පුහුල් හොරා කරෙන් දැනිලා - විජිත හේරත්

Image caption "තිස්ස අත්තනායක මහත්තයට විරුද්ධව තියෙන චෝදනා විභාග කරන්න එපා කියලනේ මේ කෑගහන්නේ? ඒකෙන්ම පැහැදිලියි මේ පුහුල් හොරා කරෙන් දැනිල තියෙන්නේ කියන එක"

අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය කිරීම මගින් 'පුහුල් හොරා කරෙන් දැනී' තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි.

"එක පැත්තකින් කියනව හොරු අල්ලන්නේ නෑ, හොරු අල්ලන්නේ නෑ කියල. ඉතින් හොරු අල්ලන්න කට උත්තරයක් දෙන්න එන්න කිවුවම ඒක එපා කියනවා," ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශයට පැවසීය.

"තිස්ස අත්තනායක මහත්තයට විරුද්ධව තියෙන චෝදනා විභාග කරන්න එපා කියලනේ මේ කෑගහන්නේ? ඒකෙන්ම පැහැදිලියි මේ පුහුල් හොරා කරෙන් දැනිල තියෙන්නේ කියන එක."

'කුමන්ත්‍රණයක්'

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පාමින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීම "කුමන්ත්‍රණයක්" බවද ඔහු සඳහන් කළේය.

Image caption ජනපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ අත්තනායක මන්ත්‍රීවරයාට අමාත්‍ය පදවියක් පැවරීම 'අල්ලස් දීමක්' බව අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ජවිපෙද පවසයි

ජීඑල් පීරිස් මන්ත්‍රීවරයාගේ නිවසේදී පසුගියදා රැස්වුණු හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්, කිසිදු පනතක් සම්මත කර ගැනීමට අවස්තාව නොදීමට තීරණය කර තිබෙන බවයි, විජිත හේරත් මන්ත්‍රීවරයා පවසන්නේ.

වත්මන් ආණ්ඩුව 'කිසිවක් කර කියා ගත නොහැකි' අකාර්යක්ෂම ආණ්ඩුවක් බව හුවා දැක්වීම ඔවුන්ගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණේ විග්‍රහයයි.

විශේෂයෙන්ම ජනාධිපතිවරයකුට ඕනෑම වතාවක් තරඟ කිරීමේ අවස්ථාව සලසා දුන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි සංශෝධනය මගින් අවලංගුවීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මනාපයක් නොමැති බවයි, විජිත හේරත් මන්ත්‍රීවරයා බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

අල්ලස් කොමිසම

ඒ අතරවාරයේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සමඟ එකට ඉදිරිපත් කළ යුතු බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ද 19 වැනි සංශෝධන විවාදය තවදුරටත් කල් දමා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවත් ඔහු පවසයි.

"මේක අවශ්‍යතා දෙකක්. කොහොම වුණත් අවංකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුවමනාවක් නැහැ 19 වැනි සංශෝධනය සම්මත කරගන්න."

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විදේශීය සංචාරයක නිරතව සිටින අවස්ථාවක, කොමිසමේ සභාපතිවරයා කටයුතු කළ ආකාරය පිළිබඳව 'බරපතල සැකයක්' මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"සභාපතිවරයා සහ ඒ කොමිසම පහුගිය ජනාධිපතිවරයා පත්කරපු කොමිසමක්."

මේ සියල්ලේ අවසාන අරමුණ විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වැළැක්වීමට බව ඔහු අවධාරණය කරයි.

විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡාවේ සම්පූණ හඬ පටයට සවන් දෙන්න : http://www.bbc.co.uk/sinhala/multimedia/2012/04/000001_tuesday_prog (අප්‍රේල් 28 වැනි අඟහරුවාදා දක්වා පමණයි)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර