බෝතල් වතුර - පානය ප්‍රවේශමෙන්

Image caption වතුර බෝතල් ඈත ගම්දනව් වලත්

ශ්‍රී ලංකාවේ ඇතැම් නිෂ්පාදකයන් විසින් අලෙවි කරනු ලබන වතුර බෝතල් වලට අශුචි ඇතුළු මහජන ශරීර සෞඛ්‍යයට අහිතකර අපද්‍රව්‍ය ඇතුළත් බව හෙළි වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී සභාපතිවරයා කියා සිටියේ, එළඹෙන වෙසක් සමයේ වතුර බෝතල් මිල දී ගැනීමේදී ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් තම අධිකාරියේ නිලධාරීන් පරීක්ෂාවෙන් සිටින බව කියා සිටි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්, එවැනි දූෂිත වතුර බෝතල් නිෂ්පාදකයන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියා කරන බවත් කියා සිටියේය.

‘අශුචි මිශ්‍ර වතුර බෝතල් හමු වී ඇති බවට අපට මහජන පැමිණිලි ලැබී තිබෙනවා. එවැනි වතුර බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් වලට යන අපේ නිලධාරීන් වතුර බෝතල් රැගෙන රස පරීක්ෂකට යවනවා. රස පරීක්ෂකගේ වාර්තා අනුවයි උසාවි ක්‍රියා මාර්ග ගනු ලබන්නේ.’ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පවසයි.

වෙසක් සතියේත්

එළඹෙන වෙසක් සතියේදීත් එවැනි දූෂිත වතුර බෝතල් අලෙවියට සූදානමක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් සභාපතිවරයා බීබීසියට ප්‍රකාශ කළේය.

අප ද්‍රවය සහිත ඇතැම් වතුර බෝතල්වල අභ්‍යන්තරයේ ඇති දෑ ඇසට පෙනෙන බවත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් පවසයි.

එවැනි වතුර බෝතල් විවෘත කළ විට අමුතු ගඳක් දැනෙන බවත් ඔහු පවසයි.

පාරිභෝගිකයන් වතුර බී විසි කරනු ලබන බෝතල් යළි පුරවන අවස්ථා වාර්තා වී ඇති බවත් සභාපතිවරයා දැනුම් දෙයි.

මෙය වතුර බෝතල් වලට පමණක් සීමා නොවන අතර ආහාරයට ගනු ලබන තුනපහ ආදියට පවා වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම් ගැන වාර්තා වන බවත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා කියා සිටියි.