බැසිල් රාජපක්ෂ ජාතික රෝහලේ

Image copyright AFP

පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලේ සිට විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික මහ රෝහලට ගෙන ගිය බව ඔහුගේ නීතිවේදියා පවසයි.

බදාදා සවස් යාමයේ අත්අඩංගුවට ගැනුණු බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන මැයි 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා බදාදා රාත්‍රියේ නියෝග කළේය.

ඉන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කරන ලද බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට ජාතික මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කරමින් සිටින බවයි, ඔහුගේ නීතිවේදී යූ ආර් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

'පපුවේ සහ කොන්දේ'

ඔහු ජාතික රෝහලට ඇතුලත් කරන්නේද, නැද්ද යන්න විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තාව ප්‍රකාර නිගමනය කෙරෙනු ඇති බව සඳහන් කළ නීතිඥවරයා, ඉන් අනතුරුව සිය සේවාදායකයාට ඇප ලබා ගැනීම පිණිස යළිත් වරක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව සිය සේවාදායකයා විදේශගත වූයේ පපුව සහ කොන්ද ආශ්‍රිත අසනීප වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා බවයි නීතිවේදියා පවසන්නේ.

එසේ ප්‍රතිකාර ලබා ගත් බවට අදාළ වෛද්‍ය සහතික බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ බවත්, ඔහුගේ අසනීප තත්වය මත ඇප ලබා දෙන මෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බවත් නීතිවේදී යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර