නීතිපති නාවික හමුදාව වෙනුවෙන් පෙනී නොසිටී

Image copyright AP

2008 වසරේ කොළඹ දෙහිවලදී දමිළ තරුණයන් පස් දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය වසර කිහිපය තුළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයායි.

එහෙත් අදාළ පැහැර ගැනීම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබ ඇති බව සාක්කිවලින් සනාථ වී ඇති නිසා ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටීම යුක්ති සහගත නොවන බව අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා විරෝධතාවක් මතු කර තිබුණි.

එම විරෝධතාවය අනුව නීතිපතිවරයා නාවික හමුදාව වෙනුවෙන් පෙනී නොසිටිනබව දැනුම් දුන්නේ යැයි අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී කේ.වී.තවරාසා ප්‍රකාශ කළේය.

මෙම නඩුව මිට පෙර මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ අප්‍රසිද්ධියේ විභාග කෙරුණ අතර එය විවෘත අධිකරණයේ විභාගයට ගත යුතු බවත් අතුරුදහන්වූවන්ගේ පාර්ශ්වයේ නීතිවේදියා ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය ජුනි මස 03 වනදාට කල් තැබූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එදින නඩුව විවෘත අධිකරණයේ විභාගයට ගන්නා ලෙස නියම කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැහැර ගනු ලැබ ඇති සිය දරුවන් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් විසිනුයි අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ.