ලෝඩ්ස් පිටියේදී සම්මාන ලැබූ ලාංකීය පාසල් ක්‍රීඩකයෝ

බ්‍රිතාන්‍ය ක්‍රීඩා සමාජයක වසරේ තුන් ඉරියවුවෙන්ම දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සහ වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් සම්මාන ලබති.

මිඩ්ල්සෙක්ස් ක්‍රීඩා සමාජයේ වසරේ දක්ෂතම නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ 16 හැවිරිදි තිලාන් වලල්ලාවිට ක්‍රීඩකයායි.

පහළොස් හැවිරිදි රහුල් විජේරත්න තුන් ඉරියවුවෙන්ම දස්කම් පාන පාසල් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබීය.

දෙදහස් දාහතර වසරේ පැවති ක්‍රිකට් තරගවලදී ශතක තුනක් වාර්තා කිරීම සහ කඩුලු විස්සක් දවා ගත හැකි වීම හේතුවෙන් තමාට මිඩ්ල්සෙක්ස් ක්‍රීඩා සමාජයේ තුන් ඉරියවුවෙන්ම දස්කම් පාන පාසල් ක්‍රීඩකයා සම්මානය හිමි වූ බව රහුල් විජේරත්න සංදේශයට කියා සිටියේය.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා සම්මාන ලබා ඇත්තේ එකොළහෙන් පහළ සිට දහනවයෙන් පහළ දක්වා වූ සියලු වයස් ඛණ්ඩවල ක්‍රීඩකයන් අතුරින් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සිය සම්මාන ලබා ගත්තේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති උත්සවයකදීයි.