නේපාලය: ශ්‍රී ලාංකිකයන් ගෙන ඒම 'අභියෝගයක්'

Image copyright Ajith P Perera
Image caption "කණ්ඩායම කැඩෙන්න එපා. මුදා ගැනීමේ මෙහෙයුමකදී හරිම වැදගත් මේ සියලු දෙනාම එක්ව සිටීම" - කොටු වී සිටින ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක්

නේපාලයේ කොටු වී සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් යලි සියරට ගෙන්වා ගැනීම ප්‍රබල අභියෝගයක් වන නමුත් ඔවුන් ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 120 දෙනකු කොටු වී සිටින ස්ථානයේ සිට ගුවන් තොටුපොළට යළි ගෙන්වා ගැනීම ඉතා සීරු කරුණක් බව සංදේශය කළ විමසීමකදී සඳහන් කළ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා, "තමන් සිටින ස්ථානයේම රැඳී සිටින්න" යන්න සිය උපදේශය බවත් පැවසීය.

"මොකද මේ කණ්ඩායම එක්ව සිටීම වටිනවා. කණ්ඩායම කැඩෙන්න එපා. මුදා ගැනීමේ මෙහෙයුමකදී හරිම වැදගත් මේ සියලු දෙනාම එක්ව සිටීම," ඔහු පැවසීය.

'මාධ්‍යවේදීන්ට අවහිර'

මේ අතර ගමන් බලපත්‍ර නොමැතිකම හේතුවෙන් නේපාලයේ දේශපාලන රැකවරණ පතා සිටි මාධ්‍යවේදීන් යළි සියරට ගෙන්වා ගැනීම නේපාලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව් එම් සෙනවිරත්න ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

එහෙත් එවැනි සිදුවීමක් පිළිබඳව තමන් නොදැන සිටි බවයි, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සංදේශයට කියා සිටියේ.

එම මාධ්‍යවේදීන් පිරිස පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන මෙන් ඒ පිළිබඳව විස්තර දන්නා පිරිසගෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනාද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

අදාළ චෝදනාව පිළිබඳව විමසීම පිණිස නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර